July 15, 2024

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් රුපියල් කෝටි 50 කට අධික වාණිජ වටිනාකමකින් යුත් රජයේ ඉඩමක් නීතිවිරෝධීව අත්පත් කරගෙන ඇතැයි පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මෙසේ අත්පත් කරගෙන ඇතැයි පැවැසෙන්නේ පුත්තලම නගරයේ ටෙලිකොම් ආයතනයට යාබදව පැරැණි අශෝකා සිනමා හලට මැදිව පිහිටි පරිචස් 25කට ආසන්න ඉඩමකි.

මන්ත්‍රීවරයා ඔහුගේ බලතල අනිසි ලෙස භාවිත කරමින් මෙම ඉඩම පසුගියදා අත්පත් කරගෙන ඇති බව කියති.

ඉඩම පුත්තලම නගරයේ වාණිජ වටිනාකමකින් ඉහළ එකක් බවත් මන්ත්‍රීවරයා එම ඉඩම තහඩු ගසා ආවරණය කර ඇති බවත් ජනතාව චෝදනා කරති.

මේ චෝදනාව සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ කීය.

“ඇත්තටම මෙම ඉඩම මම අල්ලගෙන නැහැ. කළේ යාබදව තිබෙන ඉඩම බදු පදනමින් ලබා ගැනීමයි. මගේ පවුලේ අයට අයත් සමාගමේ වාහන ගාල් කිරීමේ ස්ථානයක් ආරම්භ කරන්න තමයි මේක ගත්තේ. යාබදව තිබුණ මේ කියන ඉඩම අපේ වැඩ බිමට මගේ පවුලේ අයට අයත් ඉන්ටර්නැෂනල් කම්පැනියට බාධාවක්ව තිබුණා. මොකද කුඩුකාරයන් අනෙක් අය නිතරම එතැනින් ගමන් කරනවා. කුඩු ගහන්න එනවා. ඒ නිසා අර යාබද ඉඩමක් වට කරලා තහඩු ගහලා තිබෙනවා. අපේ ඉදිකිරීම් අවසන් වනතුරු.
නිසා අපිට ලියුම් එවා තිබුණා. පුත්තලම ප්‍රාදේශීය ලේකම් මගෙන් පලිගන්න ඕන නිසා එයා තමා මේ සේරම කරන්නේ. අපි ඉඩම අල්ලගෙන නෑ.”

මන්ත්‍රීවරයාට එරෙහිව නැගුණ චෝදනා පිළිබඳව පුත්තතලම ප්‍රාදේශීය ලේකම් සම්පත් පියල් වීරසේකරගෙන් කළ විමසුමක දී ඔහු මෙසේ පැවැසීය.

“මන්ත්‍රීතුමා සමග කිසි තරහක් නැහැ. මම කරන්නේ මට අයිති රාජකාරිය. මන්ත්‍රීතුමා ඇතුළු පිරිස බදු අරන් තියෙන ඉඩමට යාබද පර්චස් 25කට ආසන්න අධික වාණිජ වටිනාකමකින් යුත් ඉඩම සම්පූර්ණයෙන් නීතිවිරෝධීව අත්පත් කරගෙන තිබෙනවා. එය වහාම නවත්වන්න කියලා මම මන්ත්‍රීතුමාට ලිපි යැව්වා. නමුත් එතුමා තවමත් එම ස්ථානයෙන් ඉවත් වෙලා නැති නිසා ඉහළ නිලධාරීන්ට සිද්ධිය දැනුම් දුන්නා. මෙය ප්‍රාදේශීය ලේකම් සතු ඉඩම නිසා මම නීතිය ක්‍රියාත්මක කරන්න මැලිවෙන්නේ නැහැ.”(ලංකාදීප)

42.31%
17.27%
32.76%