July 13, 2024

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොටුව, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ඉඩමක් අනවසරයෙන් බදු දීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 330ක පාඩුවක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණ වී තිබේ.

ඒ, පසුගියදා පාර්ලිමේන්තුවේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස කෝප් සභාපති රෝහිත අබේගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කොළඹ 02, ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 6ක ඉඩමක් 2019 වසරේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව රුපියල් බිලියන 12කට වසර 99කට බදු දී ඇති බව ද කෝප් කමිටුව හමුවේ අනාවරණ විය.

ඉඩම සඳහා බදු ගිවිසුම සකස් කර අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ මණ්ඩලය විසින් අනුමත කරන ලද මුල් බදු කොන්දේසිවලට ඇතුළත් නොවූ අමතර කොන්දේසි සහිතව බවද වැඩිදුරටත් අනාවරණ වී තිබේ.

වැඩිදුරටත් හෙළිවී ඇත්තේ බදු ගිවිසුම කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් නීති අධ්‍යක්ෂවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

එම ඉඩමේ සංවර්ධන කටයුතු මෙතෙක් ආරම්භ කර නැත.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුම්කරණ පද්ධතියේ ගැටලු හඳුනාගෙන ඇති බව ජාතික විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කමිටුවට දන්වා තිබේ.

අධිකාරිය සතු ආයෝජන ඉඩම්වල තක්සේරුව ද ප්‍රශ්නකාරී බව එම නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි ඉඩමේ අයිතිය තවමත් නාගරික සංවර්ධන අධිකාරිය සතුව පවතින බව පෙන්වා දෙමින් ජාතික විගණන දෙපාර්තමේන්තු නිලධාරීන් එම ඉඩමේ අයිතිය පාර්ලිමේන්තුවට පැවරීමට පියවර ගන්නා ලෙස නිර්දේශ කර ඇත.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු සියලුම ආයෝජන ඉඩම් පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් සවිස්තර වාර්තාවක් සති දෙකක් ඇතුළත කමිටුවට ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන උපදෙස් දී තිබේ.

42.31%
17.27%
32.76%