July 13, 2024

අන්තර්ජාල ආරක්ෂණ පනත සම්මත කිරීමට පක්ෂව ඡන්දය නොදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ සමාව අයැද සිටියේය.

“මම පෞද්ගලිකව එය වැදගත් පනතක් ලෙස දුටුවා, නමුත් එය යක්ෂයකු ලෙසයි මවලා තිබුණේ. අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න මම පහුගිය දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට කතා කළා. මම ඇහුවා අන්තර්ජාල ආරක්ෂණ පනත යටතේ පැමිණිල්ල දාන්න පුළුවන්ද කියලා.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එහිදී එම නිලධාරියා පනතට විරුද්ධව ඡන්දය දීම සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කළ බව ජයවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේය.

“මට ලැජ්ජාවක් ඇතිවුණා. අන්තර්ජාල ආරක්ෂණ පනත අපේ ප්‍රජාතන්ත්‍රවාදී සහ දේශපාලන අයිතිවාසිකම්වලට හානි කරන බවයි අපට පෙන්වා දී තිබුණේ. ඔන්ලයින් මගින් අපි කරන ප්‍රකාශ අපිව හිරේ දාන්න යොදා ගන්නවා කියලයි අපිට කියලා තිබුණේ,” යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ පත් කරන කොමිසමේ සාමාජිකයන් මෙතෙක් පත් කර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියා තමාට දැනුම් දුන් බවද ජයවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අදාළ කොමිසමට අවශ්‍ය පත්කිරීම් කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාව ද ඔහු මන්ත්‍රීවරයාට පෙන්වා දී තිබේ.

“මෙම පනතට විරුද්ධව ඡන්දය දීම ගැන මම කණගාටු වෙනවා, මගේ දීපු ඡන්දය ගැන මම සමාව ඉල්ලනවා,”යැයි මන්ත්‍රීවරයා පැවසීය.

42.31%
17.27%
32.76%