July 13, 2024

සිනමා ශාලාවක් තුළදී තිරගත් වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටය ජංගම දුරකථනයකින් පටිගත කර යූ ටියුබ් චැනලයක් ඔස්සේ ප්‍රචාරය කළ බව කියන පුද්ගලයකු පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිං චිකරුවකු වන සැකකරු කටුගස්තොට සීගිරි සිනමා ශාලාවේ දී සිය ජංගම දුරකථනයෙන් සිංහබාහු චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කර ඇති බවයි.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (11) ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

තම චිත්‍රපටය සිනමා ශාලාවක් තුළදී ජංගම දුරකථනයකින් රූගත කර යූ ටියුබ් චැනලයකට මුදා හැර තිබෙන බවට ලද තොරතුරකට අනුව සෝමරත්න දිසානායක විසින් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

මෙම අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඒ අනුවය.

ඔහු පෙන්වා දෙන්නේ විශාල මුදලක් වැයකර කරන සිනමා නිර්මාණයක් මෙලෙස වංචා සහගත ලෙස රූගත කර සමාජ මාධ්‍යට මුදා හැරීම බරපතළ අපරාධයක් බවයි.

එය දේශීය සිනමා කර්මාන්තයේ පැවැත්මට දැඩි අභියෝගයක් බව ද ඔහු සඳහන් කරයි.

මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බවද ඔහු අවධාරණය කරයි.

42.31%
17.27%
32.76%