July 10, 2024

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ, රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලකට සාපරාධි ලෙස ඇතුළුවීම සහ දේපළවලට අනර්ථයක් කිරීම යන චෝදනා සම්බන්ධයෙනි.

කල්පිටිය කුරුඥම්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගඋත්තරකරු කරමින් ඉකුත් පෙබරවාරි 21 වැනිදා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මීට පෙර නඩුව කැඳවූ මාර්තු 4 සහ අප්‍රේල් 1 යන දින දෙකේදී සහ ජූලි 8 වැනිදා වග උත්තරකාර මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයකු හෝ අධිකරණය හමුවේ පෙනී සිට නැත.

රාජ්‍ය නොවන සංවිධානයකින් ලැබුණු පැමිණිල්ලකට අනුව ඔවුන්ගේ ගොඩනැගිල්ලකට සාපරාධී ලෙස ඇතුළුවීම, දේපළ අනර්ථය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වගඋත්තරකාර මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර ඇත.

සෑම පුරවැසියකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අධිකරණයට ගරු කරමින් අධිකරණයේ පෙනී සිටිය යුතු බව පෙන්වා දී ඇති මහේස්ත්‍රාත්වරිය, රාජ්‍ය නොවන සංවිධානයට අයත් යතුර ඔවුන්ට වහාම භාරදීමට ක්‍රියා කරන ලෙසට ද නියෝග කර තිබේ.

නඩුව ලබන 22 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

 

42.31%
17.27%
32.76%