July 9, 2024

චීනයේ සත්වෝද්‍යානවලට රිළවුන් ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් වෙනත් රටවල් ද රිලවුන් ඉල්ලා සිටිය හැකි බවත්, එමගින් එම සතුන්ගෙන් සිදුවන වගා හානි අවම කර ගැනීමට හැකිවන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර යලිත් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල විවිධ ප්‍රදේශවල ගොවීන් තම වගාවන් රිළවුන් විසින් විනාශ කරන බවට කරන ලද පැමිණිලි සලකා බලමිනි.

මුලදී රිළවුන් ලක්ෂයක් චීන සත්වෝද්‍යාන වෙත යැවීමට සැලසුමක් තිබූ නමුත් සත්ව හිතකාමී සංවිධාන ලබාගත් වාරණ නියෝගයක් හේතුවෙන් මෙම වැඩසටහන නතර කළ බවද ඔහු පැවසීය.

වන සතුන්ගෙන් සිදුවන වගා හානිවලට පිළියම් යෙදීම සඳහා වෙඩි බෙහෙත් නිකුත් කිරීමට අවශ්‍ය අවම භූමි ප්‍රමාණය අක්කර පහේ සිට අක්කර දෙක දක්වා අඩුකිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

විවිධ දිස්ත්‍රික්කවල ගොවීන් පොල්, එළවළු, පලතුරු සහ අනෙකුත් භෝගවලට රිළවුන් හානිකිරීම නිසා සැලකිය යුතු අස්වැන්නක් අහිමි වූ බව වාර්තා විය.

පොල් ගෙඩි 800 සිට 100ට වඩා අඩුවෙන් පවා අස්වැන්න විශාල ලෙස අඩු වී ඇති බවට ගොවීන් චෝදනා කර ඇති බව පැවැසේ.

මේ සඳහා ස්ථීර විසඳුමක් ලබාදෙන ලෙස ගොවීහු ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

වල් ඌරන්, මොනරුන්, රිළවුන්ගෙන් සහ දඬුලේනුන්ගෙන් දිනෙන් දින ඉහළ යන හානිය පිළිබඳව සඳහන් කරන ඇමැති අමරවීර, එයට හේතුව ඔවුන්ගේ වැඩිවන ගහණය බව පවසමින්, අනුමැතිය සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ඔහු අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

42.31%
17.27%
32.76%