July 9, 2024

‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් ඊයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය හයදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ප්‍රකාශ ලබාදුන් අය අතර අතුරුගිරිය ඔරලෝසු කණුව අසල වෙඩිතැබීම සිදුවූ පච්ච කෙටීමේ අලෙවිසැලේ හිමිකරුද වෙයි.

පරීක්‍ෂණවලදී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ, පච්ච කෙටීමේ අලෙවිසැලේ හිමිකරුගේ ගිණුමට ඩුබායි සිට රුපියල් මිලියනයක් බැරවී ඇති බවයි.

එම මුදල් ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර කිරීම සඳහා තැන්පත් කර ඇති බවට පොලිසිය සැකකරයි.

ඩුබායි හි සිටින තම මිතුරන් විසින් ටැටූ සාප්පුව සඳහා භාණ්ඩ මිලදී ගැනීම සඳහා තම ගිණුමට මුදල් බැර කළ බව එහි හිමිකරු පොලිසියට ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කෙසේවෙතත්, මෙම පුද්ගලයා තම වෙළඳසැලට උපකරණ මිලදී ගැනීමට මුදල් ලබාගත්තේද නැතහොත් කොන්ත්‍රාත්තුවක් මත ඝාතනයක් සඳහා අත්තිකාරම් වශයෙන් මුදල් ලබාගත්තේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසීය.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පච්ච කෙටීමේ වෙළඳසැලක් විවෘත කිරීමේ උත්සවයකදීය.

සිද්ධිය වූ වහාම පුද්ගලයින් 6 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 55 හැවිරිදි ‘ක්ලබ් වසන්ත’ නමින් හැඳින්වෙන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

වෙඩි තැබීමෙන් පාදයකට බරපතළ තුවාල සිදුවූ ගායන ශිල්පී කේ.සුජීවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ටැටූ සාප්පු හිමියාගේ බිරිඳ ද තුවාල ලබා ඇත.

කංජිපානි ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මෙහෙයවීමෙන් මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සිද්ධියෙන් පසු ක්ලබ් වසන්තගේ බිරියගේ බෑගයේ තිබී රිවෝල්වරයක් සොයාගෙන ඇත.

මේ අතර, වෙඩි තැබීමෙන් පසු පළායාමට තුවක්කුකරුවන් යොදාගත් වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයෙන් පොලිසිය ඊයේ රාත්‍රියේ සොයාගත්තේය.

42.31%
17.27%
32.76%