July 8, 2024

මුලතිව් 593 පාබල බළ සේනා මුලස්ථානයේ සෙබළියක ඝාතනය කළ බව කියන ඇය සමග එකට වාසය කළ පුද්ගලයෙක් පෙරේදා අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර තිබුණේ, නිරංජනී ඩිශාජනී නමැති, උඩයාර්කට්ටුව, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි, 29 හැවිරිදි, දෙදරු මවකි.

මියගිය කාන්තාවට පළමු විවාහයේ අවුරුදු 7ක දියණියක සහ දෙවැනි සම්බන්ධතාවයෙන් අවුරුදු 1යි මාස 6ක පිරිමි දරුවකු ද සිටි බව පොලිසිය පවසයි.

ඇය පළමු විවාහයෙන් දික්කසාද වී නොසිටියදී මුලතිව් ප්‍රදේශයේ කෝවිල් උත්සවයකදී දැන හඳුනාගත් යාපනය ප්‍රදේශයේ අයකු සමග ඉකුත් 2021 වසරේ සිට පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස්, පසුව ඔහු සමග එකට ජීවත් වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු සහ මියගිය කාන්තාව අතර නිතර ආරාවුල් ඇති වී තිබූ අතර, සිද්ධිය වූ දින මියගිය කාන්තාව සති අන්ත නිවාඩු ලැබ සැකකරුගේ මවගේ නිවෙසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

එහිදී සැකකරු සහ මරණකාරිය අතර බහින්බස් වීමක් සිදු වී ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි සැකකරුගේ නැගණියගේ නිවෙසට යාමට ඇය සූදනම් වී ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී සැකකරු ඇයට නැගණියගේ නිවෙසට නොයන ලෙස පැවැසුව ද, ඇය ඔවුන් සමග අරියාලේ ප්‍රදේශයේ නිවෙසට ගොස් ඇති බව අනාවරණය වී ඇත.

පසුව සැකකරු ඊට උරණ වී මත්පැන් පානය කර, පාපැදියෙන් සැකකරුගේ නැගණියගේ නිවෙස ඉදිරිපිටට පැමිණ ඇති අතර, එහිදී නිවෙස ඉදිරිපිට පුටුවක වාඩි වී සිටි මියගිය කාන්තාව සමග බහින්බස් වීමක් වී ඇති බව පොලිසිය පවසයි.

පසුව සැකකරු මියගිය කාන්තාවගේ පපුවට පිහියෙන් ඇන ඇති බව විමර්ශනවලදී අනාරණය වී ඇත.

අනතුරුව 1990 හදිසි ගිලන් රථ සේවයට කතා කොට, තම බිරිය පිහියෙන් ඇනගත් බව සැකකරු ගිලන් රථයේ සිටි සෞඛ්‍ය නිලධාරීන්ට පවසා ඇති බව පොලිසිය කියයි.

අනතුරුව එම ස්ථානයට පැමිණි යාපනය මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉන්දික අබේගුණසේකර ඇතුළු නිලධාරීන්ට ද සැකකරු පවසා ඇත්තේ බිරිය පිහියෙන් ඇනගත් බවය.

කෙසේ වෙතත්, පොලිසිය කළ විමර්ශනවලදී මෙය ඝාතනයක් බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු වරද පිළිගෙන, ඝාතනය සඳහා යොදාගත් පිහිය ද පොලිසියට භාර දුන් බව පොලිසිය පවසයි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%