July 6, 2024

බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

මහ බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර ප්‍රථම වරට අත්හිටවූයේ 2017 ජූලි 06 වැනිදාය.

එතැන් සිට මේ දක්වා සෑම මාස හයකට වරක් එම අත්හිටුවීම දීර්ඝ කර තිබේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම 2015 වසරේ රජයේ බැඳුම්කර විකිණීමකදී සිදුකර ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයකට ලක්ව සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව කෙටි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ “ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ වන රෙගුලාසිවලට අනුව ක්‍රියා කරන ශ්‍රී ලංකා මහ බැංකුව, සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර අත්හිටුවීම දීර්ඝ කිරීමට තීරණය කර ඇත” යනුවෙනි.

ඒ අනුව, ප්‍රාථමික අලෙවිකරුවකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට 2024 ජුලි 5 වැනි දින පස්වරු 4:30 සිට බලපැවැත්වෙන පරිදි, ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් තවදුරටත් මාස හයක කාලයක් සඳහා කරගෙන යෑමට අවසර නැත.

ඒ මහ බැංකුව විසින් සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහායි.

 

42.31%
17.27%
32.76%