July 4, 2024

කොළඹ අන්තර්ජාතික පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 15ක සිසුවකු සහ සිසුවියක ඇල්ටෙයාර් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටී මියයෑම සියදිවි නසාගැනීමක් ද යන්න තවමත් අවිනිශ්චිත බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවයි.

ඔවුන්ගේ මුහුණේ ඉරියව් සහ චලනයන් දැක්වෙන CCTV දර්ශනවලට අනුව මෙය සියදිවි නසාගැනීමක් ද යන්න තවමත් අවිනිශ්චිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

අඟහරුවාදා දිනයේ සවස මෙම සිසුන් දෙදෙනා මහල් ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටී ඇති අතර ඔවුන්ගේ සිරුරු හමු වී ඇත්තේ 3 වැනි මහලේ තිබීයදී.

ඔවුන් දෙදෙනා පාසලේ එකම පන්තියේ මිතුරන් වන අතර අඟහරුවාදා සවස 2.40ට පමණ ත්‍රිරෝද රථයකින් පාසල් නිල ඇඳුමින් සැරසී කොම්පඤ්ඤ වීදියේ ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ල වෙත පැමිණ ඇත.

විමර්ශනයේ දී හෙළිව ඇත්තේ මොවුන් 61 වැනි මහලේ පදිංචි මිතුරකු බැලීමට පැමිණි බව ඇල්ටෙයාර් හි ආරක්ෂකයන් වෙත දන්වා ඇති බවයි.

ආරක්ෂක නිලධාරියා එම නිවසට අමතන අවස්ථාවේ එහි කිසිවකු නොසිටියද ඔවුන් එම මහල් නිවාස සංකීර්ණයට නිතර පැමිණෙන බැවින් ඇතුළු වීමට ආරක්ෂකයන් අවසර ලබා දී ඇත.

පසුව ඔවුන් 5 වැනි මහලට ගොස් ඔවුන්ගේ ඇඳුම් මාරු කර ව්‍යායාම් මධ්‍යස්ථානය වෙත ද ගොස් ඇති බවයි.

CCTV දර්ශනවලට අනුව පෙනී ගොස් ඇත්තේ ටික වේලාවකට පසු පිරිමි ළමයා යතුරුපැදියකින් ලබා දුන් පාර්සලයක් ගැනීමට ආපසු බැස 5 වැනි මහලට පැමිණ ඇති බවයි.

4.30ට පමණ ඔවුන් දෙදෙනා අල්ටෙයාර් මහල් ගොඩනැගිල්ලේ 67 වැනි මහලට ගොස් ඇත්තේ එම මහලේ හදිසි පිටවීමේ දොරටුවෙන් බව අනාවරණ වී ඇත.

වුන් දෙදෙනා හදිසි පිටවීමේ දොර විවෘත කර මෙම සිද්ධිය වූ ස්ථානයට සමීපව පිහිටා තිබූ අඩි හතරක් පමණ වන තාප්පයක් මත වාඩි වන අයුරු ද CCTV දර්ශනවලට අනුව පෙනීගොස් ඇත.

මියගිය සිසුන්ට මෙම නිවාස සංකීර්ණයේ 61 වැනි මහලේ පදිංචි මිතුරකු සිටි බවත්, ඔහු පිරිමි ළමයාට නිවසට ප්‍රවේශ වීමට යොදා ගන්නා කාඩ්පතක් ලබා දී තිබී ඇති බවත් වාර්තා වේ.

කෙසේවෙතත්, මෙම තොරතුරු තහවුරු කිරීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතින බව ද වාර්තා වේ.

ඇල්ටෙයාර් හි මහල් 70ක් ඇති අතර, පිටස්තරයන් සඳහා 67 වැනි මහලෙන් ඔබ්බට ප්‍රවේශ වීම සීමා කර ඇත.

හදිසි පිටවීමේ දොරටුවට පිවිසෙන විවෘත පඩිපෙළ අසලින් මියගිය දරුවන් දෙදෙනාගේ සපත්තු හමු වී තිබේ.

කෙසේවෙතත්, විමර්ශන මගින් හෙළිවී ඇත්තේ විවෘත පඩිපෙළෙන් ඔබ්බට CCTV කැමරා සවි කර නොමැති බවයි.

මේ නිසා දරුවන් දෙදෙනා 3 වැනි මහලට වැටුණේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත.

ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබුණේ ඔවුන් ගොඩනැගිල්ලට ඇතුළු වී පැය කිහිපයකට පසුවය.

සිද්ධිය දුටු කිසිවකු ද මෙතෙක් හමුවී නැත.