July 4, 2024

දේශපාලන සහ මූල්‍යමය වාසි ලබාගැනීමේ අරමුණින් ඇතැම් දෙමළ දේශපාලනඥයන් ඝාතනයට ලක්වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට සහ සිය ඥාති සොයුරියට පණදීමට උත්සාහ දරමින් සිටින බව වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඥාති පුත්‍රයා වන කාර්තික් මනෝහරන් චෝදනා කරයි.

ඉන්දියානු දෙමළ දේශපාලනඥයකු වන නෙදුමාරන් සහ කාසි ආනන්දන් මෙන්ම හිටපු ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයකු වන කේ. සිවාජිලිංගම් මෙලෙස තම මාමාට සහ ඥාති සොයුරියට පණ දීමට උත්සාහ කරමින් සිටින බව ‘ඩේලි මිරර්’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කාර්තික් මනෝහරන් සඳහන් කර ඇත.

ඔවුන් පමණක් නොව තම මාමා ජීවත් කිරීමට යැයි පවසා මුදල් එකතු කරන මහා වංචාවක් ලොව පුරා ක්‍රියාත්මක වන බවත් එවැනි මැර වංචාකරුවන්ට හසු නොවන ලෙස ලොව පුරා සිටින දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාර්තික් මනෝහරන් පවසයි.

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ ඇතැම් දෙමළ දේශපාලනඥයන් සහ ඇතැම් දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් මෙම මහා වංචාව සිදු කරන බව මනෝහරන් පෙන්වාදෙයි.

මියගිය අයට හිමි නිසි ගෞරවය ලබාදීම ඉතා වැදගත් බවත්, දෙමළ ජනතාව අසරණවීමට සැබෑ හේතුව මෙවැනි වංචාකරුවන් බවත් ඔහු පවසයි.

ඇතැම් දේශපාලන කණ්ඩායම් වල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් අප්‍රසාදයෙන් පසුවන බවත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සිවාජිලිංගම්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවත් මනෝහරන් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට ඇතැම් දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් මෙලෙස මුදල් එකතුකර ඇති බවත්, ජීවත් වූවා නම් වයස අවුරුදු 70 ක් වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් රැකබලාගැනීම සඳහා එම මුදල් භාවිත කරමින් සිටින බව මුදල් එකතු කළ එම දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් දැන් ප්‍රකාශ කරන බවත් මනෝහරන් චෝදනා කරයි.

ප්‍රභාකරන් නම විකුණමින් ලොව පුරා සිටින අහිංසක දෙමළ ජනතාවගේ මුදල් වංචනිකව ලබාගන්නා වංචාකරුවන් ලොවට හෙළිකිරිම සඳහා සත්‍ය පැවසීමට තමන් අවසානයේ තීරණය කළ බව මනෝහරන් ප්‍රකාශ කර ඇත.

තමාගේ මාමා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලුදෙනා යුද්ධයේ අවසන් දිනවලදී ඝාතනයට ලක් වූ බවත්, මළවුන්ට හිමි ගෞරවය ඔවුන්ට ලබාදෙන ලෙස නැවත වරක් තමන් ඉල්ලා සිටින බවත් මනෝහරන් සඳහන් කරයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා වන කාර්තික් මනෝහරන් ඩෙන්මාර්කයේ සිට ඩේලිමිරර් පුවත්පතට මෙලෙස අදහස් දක්වා ඇත.

42.31%
17.27%
32.76%