July 4, 2024

ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය 2019 වසරේ පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති බැවින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වසරක ධුර කාලයක් දීර්ඝ කර ගැනීමට අවස්ථාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

කොළඹදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම උත්සාහ කරන බවයි.

“2019 වසරේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති ධූර කාලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී තිබෙනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහකට සීමා කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කළා.”

2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ජනාධිපතිවරයාට තම ධුර කාලය දීර්ඝ කර ගැනීමට හැකිවනු ඇතැයි ජාතික ජන බලවේගය කිසිවිටෙක නොසිතන බවද අනුර දිසානායක පැවැසීය.

ජනතාවට මුහුණ නොදී බලය තහවුරු කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කරන කුමන හෝ කුමන්ත්‍රණ හෝ උපක්‍රම ජාජබ විසින් පරාජය කරන බවද ඔහු පැවැසීය.

අපි රනිල් වික්‍රමසිංහගේ කුමන්ත්‍රණ පරාජය කරනවා පමණක් නොව රනිල් වික්‍රමසිංහවද සම්පූර්ණයෙන්ම පරාජය කරන බවද ඔහු සඳහන් කළේය.

“රනිල්ට ජනාධිපතිවරණයට මුහුණ දෙන්න වෙනවා. මැතිවරණය වැළැක්වීමේ සියලු උත්සාහයන් අපි පරාජය කරනවා. ආණ්ඩුව ඇති කරන නොසන්සුන්තාවන්ට සහ ව්‍යාකූලත්වයට ඉඩ නොදෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා,” ඔහු වැඩිදුරටත් පැවැසීය.

42.31%
17.27%
32.76%