July 2, 2024

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ජාලයක් හසුකර ගැනීමට ඉන්දියාවේ චෙන්නායි කලාපය භාර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ.

ඔවුන් විසින් මෙම ජාලයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් සතුව තිබූ රුපියල් කෝටි 40ක් වටිනා මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය තොගයක් අවස්ථා දෙකකදී සොයා ගැනීමටද හැකි වී තිබේ.

චෙන්නායි කලාපය භාර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන පරිදි මෙම මත්ද්‍රව්‍ය ජාලයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළ ප්‍රධානියා පුසාල් හි මධ්‍යම බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක වී ඇත.

පසුගිය ජූනි 11 වැනිදා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් චෙන්නායි සිට ශ්‍රී ලංකාවට මෙතම්ෆෙටමින් රැගෙන යෑමට උත්සාහ කළ බාලවයස්කරුවකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව සිදු කළ විමර්ශනයකදී, මණ්ඩපම් සරණාගත කඳවුරේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයකු සහ චෙන්නායි හිදී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

ඔවුන් සතුව තිබී මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 1.47ක් සහ ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදල් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශනයේදී හෙළිව ඇත්තේ 2021 වසරේ දී ආදායම් බුද්ධි අංශය විසින් පවරන ලද නඩුවකදී මෙම ජාවාරමේ ප්‍රධානියා ලෙස සැළකෙන කාසිලිංගම් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු පුසාල් මධ්‍යම බන්ධනාගාරය තුළ සිට ඔහුගේ බිරිඳට උපදෙස් දෙමින් ජාවාරම සම්බන්ධීකරණය කර තිබේ.

රෝයපෙට්ටා ​​පීටර්ස් පාර අසලදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කළ මෙහෙයුමකදී මෙතම්ෆෙටමින් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන මෝටර් රථයක් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ තිබී මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 2.7ක් සොයා ගෙන තිබිණි.

එම මත්ද්‍රව්‍ය මනිපූර් ප්‍රදේශයෙන් ලබාගත් බව සැකකරුවන් පවසා තිබේ.

 

42.31%
17.27%
32.76%