June 28, 2024

රට කඩා වැටුණු මොහොතේ දුවන සපත්තු සොයා පැන ගිය විපක්ෂය රට වෙනුවෙන් අභියෝග භාරගෙන කටයුතු කරන එකම පුද්ගලයාගේද කකුලෙන් අදිමින් රට යළි කඩා වැටෙන තුරු බලා සිටින බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර පවසයි.

මඩකලපුව හින්දු විද්‍යාල ක්‍රීඩාංගණයේදී අද (28) පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ දිස්ත්‍රික් ජංගම වැඩසටහනට සහභාගි වෙමින් ඇමැතිවරයා පැවසුවේ රට බංකොලොත්භාවයෙන් නිදහස් වන සුබාරංචියක් එන බව පවසන විට එම පාර්ශ්ව වැඩවර්ජන, උද්ඝෝෂණ ආරම්භ කරමින් කටයුතු කරන බවයි.

“මඩකපලපුවේ දරුවන්ගේ, මිනිසුන්ගේ ඉවසීම ආදර්ශයට ගන්න ඕනේ. දේශපාලනය කරන ඔය කයියනායකලටත් එහෙම පුළුවන් වුණා නම් අර්බුදය වෙලාවේ හැංගෙන්නේ නැහැ. අර්බුද වෙලාවේ හැංගුණා, රට කඩා වැටිච්ච වෙලාවේ අර්බුද, අභියෝග භාර ගන්න කිව්වහම දුවන සපත්තුත් හෙව්වා. දුවන්නේ කොහොමද කියලා බලන්න. තමන්ගේ පත්වීම්, තනතුරු ගැන බැලුව මිසක් රටේ මිනිස්සුන්ට ආදරේ කරලා වගකීම් භාර ගත්තේ නැහැ. මේ ජනතාවගේ කැපවීම් සහ අභියෝග භාර ගැනීම්වලින් පුතාණෝලට, කයියනායකලට ගොඩක් තියෙනවා ඉගෙනගන්න. අමාරුවෙන් රට නැගිටිද්දී මිනිස්සුන්ගේ හිත ශක්තිමත් කරන නායකයන් වෙනුවට මිනිසුන්ව වට්ටවන්න හදන නායකයෝ තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ” යැයි ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා;

“කරන්ට් එක නැතුව දරුවන්ට ඉස්කෝලෙ වැඩ කරගන්න බැරුව හිටියා. බස් එකේ යන්න බැරුව හිටියා තෙල් නැතුව. පාසල් දරුවෝ ගොඩක් දුක් වින්දා ඒ කාලෙ. මේ පළාත්වල දරුවන්ට අවුරුදු තිහක් තිස්සේ පාසල් අධ්‍යාපනය හරියට කරන්න බැරි වුණා, මේ පළාත්වල තිබුණ යුද තත්ත්වය එක්ක. දැන් මේ වෘත්තීය සමිති ආයිත් පාරක් පාසල් වහලා සතුටු වෙනවනම්, මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා නම් අපිට තියෙන්නේ එක දෙයයි. ඒ කාලේ ලාදුරු රෝගීන් ගෙනත් දාන්න තිබුණු මඩකලපුවේ මාන්තිව් දූපතට හැමදාමත් උද්ඝෝෂණ කරන වර්ජන කරන, රටේ සංවර්ධනයට බාධා කරන ඔය කුහක කණ්ඩායමත් ගෙනත් දාලා නිරෝධායනය කරන්න ඕන. නැවත සමාජයට යන්න නොදී එක තැනක වෙන් කරලා තියන්න ඕන.

මේ තිස් අවුරුදු යුද්දෙ පටන් ගන්න ඉස්සෙල්ලා අද විතරක් නෙමෙයි උතුරේ බන්ධනාගාරයට ගහන්න, දකුණෙන් ගිහිල්ලා උතුරේ තරුණයන්ට පුරුදු කළේ එදා රෝහණ විජේවීර. මුලින්ම පෙට්‍රල් බෝම්බ හැදුවේ, ළමා සොල්දාදුවන් හැදුවේ එල්ටීටීඊයට යුද්ධ කරන්න ඉගැන්නුවේ, කරුණා අම්ම්මාන්ට ආයුධ ටික දුන්නේ ජේවීපේ එක තමයි. එදා ඉදලා මේ රටේ ප්‍රශ්න හදන්න මුල් වුණේ ඔය ජේවීපී එක.

මේ රටේ අවුරුදු ගාණක යුද්ධයෙන් මේ පළාතේ ජනතාවටත් ලොකු හානියක් සිද්ධ වුණා. මේකෙදි අපි බෙදුණා. නෑ, අපිව බෙදුවා. දේශපාලනික අවශ්‍යතා අනුව තමයි අපිව බෙදුවේ. පිල්ලේයාන්ලට, කරුණාලට යුද්ධෙට අවතීර්ණ වෙන්නට පාර හැදුවේ දේශපාලන අවශ්‍යතා තමයි.

සුද්දො අපිට රට දීලා යනකොට රට බෙදලා ගියේ නැහැ. ඉන්පසුව සිංහල රාජ්‍ය භාෂාව කළා 1956 දී . අද මට දෙමළෙන් කතා කරන්න බැරි කළේ, ඔබට සිංහල කතා කරන්න බැරි කළේ ඒ දේශපාලන උවමනාව. මධ්‍ය මහා විද්‍යාලවල තිබ්බ භාෂා අධ්‍යාපනය අපිට නැති කළා. අද අපිට සිංහල භාෂාව, දෙමළ භාෂාව නොතේරෙන්න අපි වෙන් කරලා පාලනය කිරීම දේශපාලනයෙන් කරපු දෙයක්.

යාපනය පුස්තකාලය ගිනි තියපු එකේ ඉඳලා අපිව බෙදලා වෙන් කරලා කටයුතු කළ නිසයි මෙච්චර කල් අපි දියුණු නොවෙන සංවර්ධනය නොවෙන රටක් වෙන්න හේතු වුණේ. ඒකයි අපිට මේ සංහිඳියාව සමග එකට එකතු වෙලා ජාති, ආගම්, කුලමල, භේද නැති කර ඉදිරියට යන්න ඕනකම තියෙන්නේ.

දකුණේ දේශපාලනය කරන ගොඩක් අයට මෙහි දරුවොන්ට මිනිස්සුන්ට තියෙන ඉවසීම නැහැ. ඒ කැපවීම, දරා ගැනීමේ ශක්තිය ඔවුන්ට නැහැ. අභියෝග භාර ගැනීමේ ශක්තිය ඒ අයට නැහැ. මේ අය කරපු කැප කිරීම් දකුණේ අය ආදර්ශයට ගන්න ඕනේ දේශපාලනය කරන ඔය කයියනායකලත්.

අපි රටක් විදියට වැටුණු පළවෙනි රට නෙවෙයි. අපිට කලින් කොරියාව වැටුණා. කොරියාව වගේම ඊශ්‍රායලය වැටෙනකොට ඒක ගොඩ ගන්න රටේ මිනිස්සු එකතු වුණා. නෙතන්යාහුට දේශපාලනික වශයෙන් බලයක් තිබුණේ නැහැ. නමුත් අල්ලපු රටත් එක්ක යුද්ධය පටන් ගත්තහම සියලු දේවල් අමතක කරලා එකතු වුණා. රුසියාවේ පුටින්ට සියලු දෙනා එකට එකතු වුණා යුද්ධයක් ආවම. රට අමාරුවේ වැටුනාම හැමෝම එකට එකතු වුණා. හැබැයි අපේ රටට එහෙම සහයෝගයක් ලබුණේ නෑ. රට වැටිච්ච වෙලාවෙ එහෙම එකතු වෙලා කටයුතු කරන්න ඕන කියලත් කිසිම හැගීමක් නැහැ. අභියෝග භාර ගන්න ආව තනි පුද්ගලයාටත් සහාය දෙනවා වෙනුවට එතුමගෙත් කකුලෙන් අඳින ඒවා විතරයි මේ විපක්ෂය කරන්නේ.

රටට සල්ලි ටික නැතිවෙච්ච වෙලාවේ ඩොලර් ටිකත් එවන්න එපා කියලා මේ විදේශගත ශ්‍රමිකයන්ට කිව්වේ රට තවත් අමාරුවේ දාන්න. අමාරුවෙන් රට නැගිටිද්දී මිනිස්සුන්ගේ හිත ශක්තිමත් කරන නායකයින් වෙනුවට මිනිසුන්ව වට්ටවන්න හදන නායකයෝ තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ. ‘ලෝකෙ කිසිම කෙනෙක් රනිල්ට නම් උදව් කරන්නේ නැහැ’ කියලා මිනිස්සුන්ගේ විශ්වාසය කඩ කරන්න උත්සාහ කළා. අයි.එම්.එෆ් සමඟ සාකච්ඡා කරන්න පටන් ගන්නකොට රටේ වෘත්තීය සමිති හතළිහක් පාරට බස්සලා උද්ඝෝෂණය කළා, ඒ සාකච්ඡා නවත්වන්න උත්සාහ කළා.

පළාත් පාලන ඡන්දෙ නිසා දෙකට බෙදිලා තරග කරන්න හිටපු අය අයි.එම්.එෆ් සාකච්ඡා නිසා එකට එකතු වෙලා එහි පළවෙනි වාරිකය දෙනවාද කියලා තීරණය කෙරෙන අවසන් මොහොත වෙනකොට පාරට බැහැලා රට ඇතුලේ උද්ඝෝෂණ කළා. හැබැයි පළවෙනි ණය වාරික දීපු ගමන් උද්ඝෝෂණ ටික නතර කරලා දැම්මා. පහුගිය දවසේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටට සුභ ආරංචියක් කියනවා කියලා කියනකොට 26 වැනිදා ගුරුවරු ටික කොළඹට ගෙනල්ලා ලොකු උද්ඝෝෂණයක් කරලා, වර්ජනය කළා. ඒ විතරක් නෙවෙයි තව වර්ජන ගොඩක් සූදානම් කරනවා.

මේ අය උත්සාහ කළේ මේකත් කොහොම හරි කඩාකප්පල් කරන්න. රටට සුබ පණිවිඩයක් එවනවා නම් රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමේ පණිවිඩය හම්බෙනවා නම් ඇයි කවුරු හරි කෙනෙක් විරුද්ධ. ඒ අය මේ රටට ආදරේ අය වෙන්න බෑ. රටේ අර්බුද ඇති වෙනකල් බලාගෙන ඉන්න දේශපාලනයක් නෙවෙයි අපිට ඕන කරන්නේ, රට ගොඩනඟන ධනාත්මකව චින්තනයක් තිබෙන රටක් ගොඩනගන්නයි තමයි අද අපිට උවමනා වෙන්නෙ. ඒ හැම කෙනෙක්ම රට, රටේ අධ්‍යාපනය වට්ටන්න බලන් ඉදිද්දී මේ වගකීම බාර අරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා එකට එකතු වෙලා මේ රටේ මිනිස්සු වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරනවා.” යැයි ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%