June 28, 2024

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම සහ නාවික හමුදා සෙබළකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් දස දෙනෙකුට එරෙහිව කන්කසන්තුරේ පොලිසිය යාපනය මල්ලාකම් අධිකරණයට ‘බී’ වාර්තාවක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම, මෙහෙයුම අතරතුර නාවික හමුදා සෙබළකු මියයෑම සහ නාවික දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මල්ලාකම් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් කන්කසන්තුරේ වරායේදී ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව සහ නාවික හමුදා මුර යාත්‍රාව සමබන්ධයේ ඊයේ (26) ස්ථානීය පරීක්‍ෂණයක් ද සිදු කරන ලදී.

නාවික හමුදාව විසින් රඳවාගෙන සිටි ඉන්දීය ධීවර යාත්‍රාව සහ මෙහෙයුමේදී හානි වූ නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාව පිළිබඳ මෙම පරීක්‍ෂණයේදී අවධානය යොමු වූ බව නාවික හමුදාව පවසයි.

මෙම සිද්ධියට අදාළ මූලික නඩු විභාගය ජූලි 22 වැනිදා යාපනය මල්ලාකම් අධිකරණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මියගිය නාවිකයාගේ අවසන් කටයුතු නාවික හමුදාවේ පූර්ණ ගෞරව සහිතව ඉබ්බාගමුවේදී අද සිදුකිරීමට නියමිතයි.

මෙහෙයුමක් අතරතුර මියගිය නාවිකයාව නාවික හමුදාපතිවරයා විසින් ‘සමූහ ප්‍රධාන සුළු නිලධාරි’ තනතුරට උසස් කර තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසා ඇත්තේ මෙම සතිය මුලදී සිදුවූ මෙම සිද්ධියට අදාළ කරුණු පිළිබඳ නාවික හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවයි.

එම විමර්ශනය පදනම් කරගත් වාර්තාවක් ඉදිරි කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නාවිකයාගේ මරණය මිනීමැරුමක් විය හැකි බැවින් බොහෝ විට පොලිසිය සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ද ගොනු කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ඒ, ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම සහ දඩයම් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවලට අමතර වශයෙනි.

 

42.31%
17.27%
32.76%