June 25, 2024

පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයකු ඇතුළු දෙදෙනකු විසින් ගොනුකර ඇති නඩුව බල රහිත කරන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගොනුකර ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 24 වැනිදා හා ඔක්තෝම්බර් 3 වැනිදා පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේදී විවාදයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේදී කැඳවිණි.

සිය පෙත්සම පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසට පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීමට වගඋත්තරකාර පාර්ශවය විසින් විරුද්ධත්වයක් නොදැක්වූ අතර, ඒ අනුව පෙර කී දිනවල පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී කැඳවීමට විනිසුරුවරයා දින නියම කළේය.

2019.4.21අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් බරපතල තුවාල ලැබූ වින්දිතයකු සහ කතෝලික පියතුමකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලිකව එම නඩුව පවරා තිබිණි.

42.31%
17.27%
32.76%