June 25, 2024

පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන් හට මත්කුඩු බෙදාහැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක් සහ ඇගේ සැමියා රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සහ එය ප්‍රවාහනය කළ යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වාරියපොළ පදිංචි 26 හැවිරිදි එම ගුරුවරිය, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගේ සැමියා වන, අනුරාධපුර සංචාරක නිවාඩු නිකේතනයක සුපවේදී සහායකවරයකු ලෙස කටයුතු කරන අයෙකු බවත්, එම සැකකරු සහ සැකකාරිය අනුරාධපුර පූජා නගරයේ කුට්ටම් පොකුණ ආසන්නයේ නිවසක තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇති බව පොලිසිය සඳහන් කළේය.

සැකකාර මෙම යුවළ මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භ කර මේ වන විට වසරක කාලයක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, එහි වර්ෂ පූර්ණය සැමරීම සඳහා විශේෂ දීමනාවක් ලෙස මේ දිනවල මත්කුඩු පැකට්ටුවක් සඳහා රුපියල් 500 සිට 1000ක් දක්වා වට්ටමක් ලබා දී ඇති බව පොලිසිය කියයි.

ලැබුණ තොරතුරකට අනුව මෙම යුවළ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කාන්තාව සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40ක් සහ ඇගේ සැමියා සන්තකයේ තිබී හෙරොයින් මතු කුඩු ග්‍රෑම් 80 ක ප්‍රමාණයක් සහ ඒවා ප්‍රවාහනය කළ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් ලබාගන්නා මත්කුඩු සැකකාර යුවළ විසින් තොග හා සිල්ලර ගැනුම්කරුවන්හට අනුරාධපුර නගරය හා පූජා නගරයේ මාර්ග අසල විවිධ ස්ථානවල සඟවා තබන බව පොලිසිය කියයි.

යුක්තියේ මෙහෙයුමට අදාළව අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගත්, වැඩිම හෙරොයින් මත්කුඩු තොගය මෙය බව ද පොලිසිය කියයි.

42.31%
17.27%
32.76%