June 22, 2024

ක්‍රිස් සිල්වර්වුඩ්ගේ වසර දෙකක දීර්ඝ කොන්ත්‍රාත්තුව අලුත් නොකිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා තාවකාලික පුහුණුකරුවකු පත්කිරීම නුදුරේදීම අවසන් කරනු ඇති බව වාර්තා වේ.

හිටපු එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක සිල්වර්වුඩ්ගේ අවුරුදු දෙකක කොන්ත්‍රාත්තුව මේ වසරේ අප්‍රේල් මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ නමුත්, එය එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පාලක මණ්ඩලය තීරණය කළේය.

එහෙත්, ශ්‍රී ලංකාව තරඟාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවට සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වෙමින් දුර්වල ලෙස ක්‍රීඩා කළ අතර, එය පුහුණුකාර ක්‍රිස් සිල්වර්වුඩ් සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට හේතු වී තිබිණි.

පිළිවෙළින් දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට කණ්ඩායම් අදියරේ පරාජයන්ට පෙර නේපාලයට එරෙහි තරගය අත්හැර දැමීමෙන් පසුව ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

නෙදර්ලන්තයට එරෙහිව පමණක් ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිවිය.

එහෙයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිල්වර්වුඩ් සමඟ ඇති ගිවිසුම ඉවත් කර ගැනීමට දැනටමත් තීරණය කර ඇති අතර, අමෙරිකාවේ දී කණ්ඩායමේ අඩු දස්කම් එම තීරණය සාධාරණිකරණය කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, හොඳ පුහුණුකාර පසුබිමක් සහිත හිටපු දේශීය ක්‍රීඩකයකුට සමඟ ගිවිසුම් ගත වී සියලු ආකෘතීන් හරහා ජාතික කණ්ඩායම පුහුණු කිරීම සඳහා විදේශිකයන් බඳවා ගැනීමේ දීර්ඝකාලීන සම්ප්‍රදායෙන් බැහැරව කටයුතු කරයිද යන්න තවමත් කිව නොහැක.

ජුලි 27 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාවකාලික පුහුණුකරුවකු තෝරාගනු ඇතැයි විශ්වාස කෙරෙන අතර ඉන් පසුව ස්ථිර ප්‍රධාන පුහුණුකරුවකු පත් කිරීම පිළිබඳ තීරණය කිරීමට නියමිත බව පැවැසේ.

2021 දී මිකී ආතර්ගෙන් පසු වැඩ භාරගත් සිල්වර්වුඩ් වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් අන්තර්ජාතික පුහුණු විශේෂඥ දැනුමක් ඇති වෙනත් විදේශිකයකු බඳවාගැනීමට තෝරාගනු ඇතැයි ක්‍රිකට් කවයන් තුළ මතවාද පැතිර පවතී.

එහෙත්, පසුගිය කාලය තුළ ජාතික කණ්ඩායමේ සියලුම ආකෘතීන්හි දී දැක්වූ දුර්වල දස්කම් හමුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රසිද්ධ විදේශිකයකු පුහුණුකරු තනතුරට පොළඹවා ගැනීමට දරන උත්සාහය සාර්ථක වේ දැයි කිව හැක්කේ කාලයට පමණි.

ශ්‍රී ලංකාව සමඟ සිල්වර්වුඩ් පුහුණුකරුගේ ඉහළම සලකුණ වූයේ 2022 දී ඩුබායිහිදී ඔවුන්ගේ T-20 ආසියානු කුසලාන ජයග්‍රහණය සහ එම වාරයේම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදී පැවති ටෙස්ට් තරඟාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමයි.

සිල්වර්වුඩ්ගේ අධීක්ෂණය යටතේ පසුගිය වසරේ ඉන්දියාවේ පැවති පිරිමි එක්දින ලෝක කුසලානයට පෙර සුදුසුකම් ලැබීමේ වටයේ තරඟාවලියද ජයග්‍රහණය කිරීමට ලංකා ක්‍රීඩකයන් සමත් විය.

එහෙත්, එතැන් සිට ඔවුන්ගේ දක්ෂතා විශ්මයජනක ආකාරයෙන් කඩාවැටීමට පටන් ගත් අතර, එක්දින ලෝක කුසලානයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 302ක දරුණු පරාජයෙන් සහ දැනට පැවැත්වෙන T-20 ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් වීමත් සමඟ එම ගමන අවසන්වී තිබේ.

සිල්වර්වුඩ්ගේ පුහුණු කාලසීමාවේදී ශ්‍රී ලංකාව සිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස, පසුගිය සැප්තැම්බරයේ ඉන්දියාවට එරෙහිව කොළඹදී පැවති එක්දින තරගයකදී සහ ඉන්දියාවේ පැවති ලෝක කුසලානයට ආසන්නව ලකුණු 50 සීමාවල දැවී ගියේය.

නිව් යෝර්ක් හි දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ ආරම්භක තරගයේදී කණ්ඩායමේ අඩුම T20 ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 77කට දැවී යෑමත් සිල්වර්වුඩ්ගේ පුහුණු කටයුතු පිළිබඳ ගැටළු මතුකිරීමට ප්‍රමාණවත් විය.

1996 වසරේ සිට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානුවන් හත්දෙනෙකු, දකුණු අප්‍රිකානුවන් තිදෙනෙකු සහ ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙකු විසින් පුහුණු කර ඇති අතර ඉතිරිය හිටපු දේශීය ක්‍රීඩකයන් වේ.

1996 සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන්ගේ ලැයිස්තුව මෙසේයි;

ඩේව් වට්මෝර්-ඕස්ට්‍රේලියාව (1995-96)

බෲස් යාර්ඩ්ලි-ඕස්ට්‍රේලියාව (1997-98)

රෝයි ඩයස්-ශ්‍රී ලංකාව (1998-99)

ඩේව් වට්මෝර්-ඕස්ට්‍රේලියාව (1999-2003)

ජෝන් ඩයිසන්-ඕස්ට්‍රේලියාව (2003-05)

ටොම් මූඩි-ඕස්ට්‍රේලියාව (2005-07)

ට්‍රෙවර් බේලිස්-ඕස්ට්‍රේලියාව (2007-11)

ස්ටුවර්ට් ලෝ-ඕස්ට්‍රේලියාව (2011)

රුමේෂ් රත්නායක-ශ්‍රී ලංකාව (2011)

ජෙෆ් මාෂ්-ඕස්ට්‍රේලියාව (2011-12)

ග්‍රැහැම් ෆෝඩ්-දකුණු අප්‍රිකාව (2012-13)

පොල් ෆාබේස් -එංගලන්තය(2013-14)

මාවන් අතපත්තු-ශ්‍රී ලංකාව (2014-15)

ජෙරොම් ජයරත්න-ශ්‍රී ලංකාව (2015-16)

ග්‍රැහැම් ෆෝඩ්-දකුණු අප්‍රිකාව (2016-17)

නික් පෝතාස්-දකුණු අප්‍රිකාව (2017)

චන්දික හතුරිසිංහ-ශ්‍රී ලංකාව (2017-19)

මිකී ආතර්-දකුණු අප්‍රිකාව (2019-21)

රුමේෂ් රත්නායක-ශ්‍රී ලංකාව (2022)

ක්‍රිස් සිල්වර්වුඩ්-එංගලන්තය (2022-24)

ඉන්දීය කණ්ඩායම ඉදිරියේදී මෙරට සිදුකරන සංචාරයේදී එක්දින තරඟ තුනක් සහ T20 තරඟ 3කට ක්‍රීඩා කිරීමට සූදානම් වේ.(The Morning)