June 21, 2024

 

නිසි පරීක්ෂාවකින් තොරව වෙළෙඳපොළට නිකුත් කරනු ලැබූ නිර්වින්දන සහ මොළය ආශ්‍රිත රෝග සදහා භාවිතයට ගනු ලබන එන්නත් වර්ග 08ක් තවමත් නිෂ්පාදනය කරන බවත් එම එන්නත් වෙළෙදපොළේ ඇති බවත් අභියාචනාධිකරණයේදී ඊයේ (20) අනාවරණය විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාස 06ක කාලයක් පුරා කරන පරීක්ෂාවකින් පසුව නිකුත් කළ යුතු එන්නත් මාස 02ක කාලයක පරීක්ෂාවකින් පසු නිකුත් කිරීමෙන් ජනතාවට මහත් හානි වී ඇතැයි කියමින් ගොනුකර ඇති පෙත්සම් කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර සමාජ ක්‍රියාකාරිකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නීල් ශාන්ත සිර්මාන්න මේ බව අනාවරණය කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හමුවේ මෙම රිට් පෙත්සම සළකා බැලීණි.

සමාජ ක්‍රියාකාරිකයන් වන ප්‍රනිතා වර්ණකුලසූරිය සහ දුයිෂාන් පී. බුද්ධරගේ යන අය ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ‘යාසීන් ලැබොරටරි’ සමාගම ඇතුළු පිරිසක් නම්කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාස 06ක කාලයක් පුරා කරන පරීක්ෂාවකින් පසුව නිකුත් කළ යුතු එන්නත් මාස 02ක කාලයක පරීක්ෂාවකින් පසු නිකුත් කිරීමෙන් ජනතාවට මහත් හානි වී ඇති බැවින් මෙම කටයුතු වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නීල් ශාන්ත සිරිමාන්න කරුණු දක්වමින් ජනතාවට මහත් හානි වී ඇතැයි කියන මෙම ඖෂධ නිෂ්පාදනය තවමත් සිදුවන්නේ යැයි කීය.

එලෙස නිෂ්පාදනය කළ එන්නත් වෙළඳ පොළේ ඇති බව කී නීතිඥ නීල් ශාන්ත සිරිමාන්න මේ තත්වය යටතේ මෙම පෙත්සම කඩිනමින් විභාග කළ යුතු තත්වයක් පැන නැඟී ඇති බැවින් පෙත්සම ඉක්මනින් කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ සහ වගඋත්තරකාර ඖෂධ සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සුරේන් පුනාන්දු කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි කීහ.

දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය පෙත්සමේ කරුණු තහවුරු කිරිම සඳහා ලබන 23 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නීල් ශාන්ත සිරිමාන්න පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ පෙනීසිටි අතර වගඋත්තරකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සුරන් පුනාන්දු පෙනීසිටියේය.

ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ පෙනීසිටියේය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%