June 18, 2024

කෝට්ටේ ව්‍යාපාරිකයකුට මාදිවෙල ප්‍රදේශයේදී යකඩ පොලුවලින් පහරදී පැහැරගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු මෙම 28 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ, ගයාන් සිරිමාන්න නමැත්තෙකි.

පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

ඔහු වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය ව්‍යාපාරිකයෙකි.

සැකකාර හිටපු සභාපතිවරයාගේ ඥාති පුතකු රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලකට ත්‍රිරෝද රථයක් ව්‍යාපාරිකයාගෙන් මිලදීගෙන තිබූ අතර, එම ත්‍රිරෝද රථය කල්බදු අතපසු වූ ත්‍රිරෝද රථයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර මතභේදාත්මක තත්වයක් ඇති වී තිබූ බව පොලිසිය කියයි.

ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් නිවෙස කරා පැමිණීමේදී සැකකාර හිටපු සභාපතිවරයා ජීප් රථයකින් සහ මෝටර් රථයකින් තවත් අටදෙනකුගෙන් පමණ පිරිසක් ද සමග පැමිණ මග හරස්කර, ව්‍යාපාරිකයා පැහැරගෙන, දෑත් සහ ඇස් බැඳ මෝටර් රථයේ අසුන යට සඟවාගෙන බෙන්තොට නිවෙසකට රැගෙන ගොස් ඇති බව හෙළි වී යැයි පොලිසිය කියයි.

අනතුරුව එම නිවෙසේ රඳවාගෙන් යකඩ පොලුවලින් පහරදී, ත්‍රිරෝද රථයට ලබාගත් මුදල් නැවත දෙන බවට දිවුරුම් ප්‍රකාශයකට අත්සන් ලබාගෙන ඇති බව ව්‍යාපාරිකයා කළ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

අනතුරුව, ව්‍යාපාරිකයා ඊයේ දහවල් නැවතත් නිවෙස අසලට දමාගොස් තිබූ අතර, ඔහු පොලිසියට පැමිණ ප්‍රකාශයක් දී, රෝහල්ගත වී තිබිණි.

සීසීටීවී දර්ශනවල සටහන්, වාහනවල ලියාපදිංචි අංකය අනුව කළ පරීක්ෂාවේදී සැකකාර හිටපු සභාපතිවරයා ව්‍යාපාරිකයා පැහැරගැනීමට යොදාගැනුණු මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.

පැහැරගැනීමට සම්බන්ධ සෙසු පිරිස සහ මෝටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බව පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%