June 18, 2024

පළාත් පාලන ආයතනවල සියලුම තාවකාලික සේවකයන් සිකුරාදා ස්ථීර කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන අනාවරණ කරයි.

නිශ්චිත සංඛ්‍යාව සඳහන් නොකළද අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, චීන සහය යටතේ බිත්තර ඉන්කියුබේටර් බෙදාදීම වෙනුවෙන් පසුගිය සෙනසුරාදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.

රටත්, ආර්ථිකයත්, සමස්ත ජනතාවත් මුහුණ දෙන බහුවිධ අභියෝග පිළිබඳ සිහිපත් කළ අගමැතිවරයා, “මේ සියලු දුෂ්කරතා මධ්‍යයේ රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනා වැඩිකර තිබෙනවා. ඉදිරි අයවැය හරහා රජයේ සේවකයන්ගේ සහ විවිධ ක්ෂේත්‍රවල සේවක සේවිකාවන්ගේ විශ්වාසය තවත් වැඩි කරනවා. ඔබ බලා සිටි තවත් බලාපොරොත්තුවක් ඉටුකරමින් තමයි අප මෙහි පැමිණියේ. ඒ පසුගිය සිකුරාදා සිට සියලුම පළාත් පාලන ආයතනවල තාවකාලික සේවකයන්ට ස්ථිර තත්ත්වය ලබාදීමයි.” යනුවෙන් සඳහන් කළේය.

“බරපතළ අර්බුදයකින් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අපේ රටේ ආර්ථිකය කෙමෙන් වර්ධනය වෙමින් තිබෙනවා. කෙසේවෙතත්, අපට තවමත් බරපතළ අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ අතරින් අඩු ආදායම්ලාභීන්ගේ දුෂ්කරතා තේරුම් ගෙන ඔවුන්ට ශක්තියක් විය යුතුයි” යනුවෙන් ද අගමැතිවරයා පැවසීය.

බිත්තර ඉන්කියුබේටර් බෙදාහැරීම ගැන සඳහන් කරමින් අගමැති ගුණවර්ධන පැවසුවේ එමගින් ගම් මට්ටමේ පවුල් සඳහා සෘජු ආදායම් මාර්ග විවෘත කරන බවයි.

“මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ආදායම් උත්පාදනය වැඩිදියුණු කිරීම, පවුල්වල පෝෂණය වැඩිදියුණු කිරීම, රටේ සාමාන්‍ය බිත්තර නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ ගෘහ මට්ටමින් ස්වයංපෝෂිත ගෙවත්තක් නිර්මාණය කිරීම සහ ග්‍රාමීය ව්‍යවසායකයන් බිහි කිරීමයි. ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් භුක්ති විඳීමට අවස්ථාව සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණක්. එය රට පුරා දියත් කර තිබෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම පියවරෙන් පියවර ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්,” යැයි අගමැතිවරයා පැවසීය.

සාර්ව ආර්ථික ගැටලු පිළිබඳ අවධානය යොමු කළ අගමැතිවරයා කියා සිටියේ රට පුරා විවිධ මිථ්‍යාවන් පැතිර යන බවයි.

“අපේ සිංහල කියමනට අනුව ඔය මිථ්‍යාවන් බොහොමයක් ඔබේ අතේ පැළවෙන බොරු. අපිට IMF එකෙන් සතයක්වත් ලැබෙන්නෙ නෑ කියලා ඉස්සර ඉඳන්ම කිව්වා. අද වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගිවිසුමට අනුව එම මූල්‍ය ආධාර ලබාදී තිබෙනවා. ආර්ථික වර්ධනයත් විදේශ විනිමයත් උපදවන ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග ගෙන ඒවා ජනතාවගේ සංවර්ධනයට යෙදවිය යුතු නිසා පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මුදල් ලබා ගැනීමට අපට සිදු වුණා. ඒ නිසා ඈත පිටිසර ගම්මාන දියුණු කිරීමටත් ආදායම් මාර්ග වැඩි කිරීමටත් පරිසරය පරිවර්තනය කළ යුතුයි. අපි ඒ ඉලක්කය කරා ගමන් කරනවා” යැයි අගමැති ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%