June 15, 2024

ICC T20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කළින් ඉවත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අදහස් පළකළේය.

ඒ ඊයේ පස්වරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසුවේ මේ ආකාරයෙන් දිගින් දිගටම තරග පරාජය වීම වසර කිහිපයක සිට පවතින ගැටලුවක් බවයි.

අදාළ ගැටලුව විසඳීමට දීර්ඝ කාලීන විසඳුමක් අවශ්‍ය බවත් ඇමැති හරීන් ප්‍රනාන්දු එහිදී ප්‍රකාශ කළේය.

තමන් ක්‍රිකට් අමාත්‍යාංශය භාර ගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවා, සියල්ල ‘අවුල් වී තිබූ’ බවත් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු චෝදනා කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු විහිළුවට මෙන් පැවසුවේ “මම ක්‍රිකට් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අහන්නේ මේ ප්‍රශ්නයට ක්‍රීඩා ඇමැතිවරයා විදියට මට මොනවද කරන්න පුළුවන් කියලා? ඔවුන් දිගින් දිගටම තරග පැරදුණොත් මා කුමක් කළ යුතුද? එතකොට මට ගිහින් ක්‍රිකට් ගහන්න වෙනවා.” අමාත්‍යවරයා පැවසීය.

“එහෙම බැහැ. මේ ප්‍රශ්නය අවුරුදු ගාණක් තිබුණා. මේ සඳහා අපට දිගුකාලීන විසඳුමක් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවලා මම අමාත්‍යාංශය භාර ගන්නා විට සියල්ල අවුල් වෙලා තිබුණේ.” ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

2024 කැරිබියන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයෙන් ඕමානයට සහ නැමීබියාවට පසුව නිල වශයෙන් ඉවතට විසි වූ තුන්වන කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්විය.