June 15, 2024

2024 මැයි 30 වැනි දින පේද්‍රෝ වතුයායේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් සහ ඔහුගේ සගයන් සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය ඉල්ලා ඇත.

තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායම විසින් නීතිවිරෝධී සහ ආක්‍රමණශීලී හැසිරීම් පෙන්නුම් කරන වාර්තා සහ සමාජ මාධ්‍ය වීඩියෝ සම්බන්ධයෙන් එම මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කර තිබේ.

ජනතාව අතර කෝපයට තුඩු දී ඇති මෙම දර්ශන, වත්තට බලහත්කාරයෙන් ඇතුළු වී බිය ගැන්වීමේ සහ අහංකාර ක්‍රියාවන්හි යෙදෙන පිරිසක් නිරූපණය කරයි.

එවැනි හැසිරීම් පිළිගත නොහැකි බවත් ජනාධිපතිවරයා සහ අනෙකුත් ජාතික නායකයන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවත් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය අවධාරණය කරයි.

පෞද්ගලික දේපළවලට අනවසරයෙන් ඇතුළුවීම සහ බලහත්කාරකම් සිදුකිරීම නීතිවිරෝධී බවත්, ඒවා සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගත යුතු බවත් එම මණ්ඩලය අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වගකීම් පැවරී ඇති අතර ඉහළම හැසිරීම් සහ ප්‍රමිතීන් ආරක්ෂා කිරීම ඔවුන්ගෙන් අපේක්ෂා කෙරේ.

තේරී පත්වූ නියෝජිතයන් ලෙස, මන්ත්‍රීවරුන් නායකත්වය, අවංකභාවය සහ වෘත්තීයභාවය යන මූලධර්ම පෙන්නුම් කළ යුතු බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය පෙන්වාදෙයි.

මහජන නියෝජිතයින්ගේ ක්‍රියාවන් මහජනයා විසින් සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර, අපේක්ෂිත හැසිරීම් වලින් සිදුවන යම් අපගමනය වීමක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය ඛාදනය විය හැකි බව ඔවුන් පවසයි.

මන්ත්‍රීවරුන් නීතිවිරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවල යෙදෙන විට එය ඔවුන්ගේ කීර්ති නාමයට කැළලක් පමණක් නොව සමස්ත පාලන ක්‍රමයේම දුර්වලභාවයක් ලෙස පිළිබිඹු වීමක් බව ද එම මණ්ඩලය පවසා ඇත.

එබැවින් පේද්‍රෝ වතුයායේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.