June 14, 2024

මධ්‍යම තායිලන්තයේ සිටින ආසියාතික කෙනරක,  දුර්ලභ ලෙස සැළකෙන නිවුන් පැටවුන් බිහිකර තිබේ.

‘ආයුත්තය’ අලි මාලිගාවේ සහ රාජකීය ඇත්ගාලේ භාරකරුවන් විසින් එය ආශ්චර්යයක් ලෙස විස්තර කර ඇත.

36 හැවිරිදි චම්චුරි නමැති මෙම මව නිවුන් දරුවන් ප්‍රසූත කරනු ඇතැයි බලාපොරොත්තුව සිට නැත.

පසුගිය සිකුරාදා ඇය පිරිමි පැටවකු බිහි කළ අවස්ථාවේදී ආයුත්තය රාජකීය ඇත්ගාලේ කාර්ය මණ්ඩලය සිතා ඇත්තේ ප්‍රසූතිය සිදුව අවසන් බවයි.

එහෙත් පළමු පැටවා පිරිසුදු කර දෙපයින් හිට ගැනීමට උදව් කරන අවස්ථාවේ යළිත් විශාල ඝෝෂාවක් ඇසී තිබේ.

ඒ අනුව චම්චුරි දෙවැනි පැටවකු බිහිකර ඇති බව ඔවුන්ට වැටහී ඇත.

දෙවැනි උපත අලි මව භීතියට පත් කරන්නක් වී ඇති අතර ඉපදුණු ගැහැණු පැටවාට පයින් ගැසීම වැළැක්වීමට භාරකරුවන්ට චම්චුරිව පාලනය කිරීමට සිදුව තිබේ.

එහිදී ඇතිවූ ගැටුමෙන් භාරකරුවකු වන 31 හැවිරිදි චරින් සොම්වංගේ පාදය කැඩී ගොස් තුවාල ලබා ඇත.

“අලුත් අම්මා හැම විටම දරුවාට පයින් ගසන්න හෝ තල්ලු කිරීමට උත්සාහ කිරීම සාමාන්‍ය දෙයක්. ඇය අලි පැටවාට හානි කරයි කියලා මම බය වුණා, ඒ නිසා මම ඉදිරියට ගිහින් පැටියව අම්මගෙන අවහිර කරන්න උත්සාහ කළා,” යැයි වසර 15ක් උද්‍යානයේ සේවය කරන සොම්වං පැවසීය.

ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයන් වන තායිලන්තයේ අලි ඇතුන් පූජනීය ලෙස සළකනු ලැබේ. අලින් ජාතික සංකේතයක් ද වේ.

මෙම නිවුන් අලි පැටවුන් බැලීමට ළමුන් ඇතුළු උද්‍යාන නරඹන්නන්ට අවසර දී ඇති අතර එය කළ හැකි වන්නේ ඔවුන්ගේ පාවහන් සහ අත් විෂබීජහරණය කිරීමෙන් පසුව පමණි.

කෙසේවෙතත් පැටවුන් අතගෑමට අවසර නැත.

තායි සම්ප්‍රදායට අනුව උපතින් දින හතකට පසු පැටවුන්ට නම් දෙනු ලැබේ.

කිලෝග්‍රෑම් 55ක් වන ගැහැණු පැටවා සාමාන්‍යයට වඩා තරමක් කුඩා වන අතර මවගෙන් කිරි බීමට බැංකුවක් මතට යෑමට එම පැටවාට සිදුවේ.

ඇගේ සහෝදරයා කිලෝග්‍රෑම් 60කට වඩා බරය.

සේව් ද එලිෆන්ට් නම් පර්යේෂණ සංවිධානයට අනුව නිවුන් අලි උපත් සිදුවන්නේ සියයට එකක් පමණක් වන අතර පිරිමි-ගැහැණු සතුන් එකවර ඉපදීම ඊටත් වඩා දුර්ලභ වේ.