June 12, 2024

වාණිජ හා ධීවර වරායකින් සමන්විත ඔලුවිල්හි පිහිටි, රජයට අයත් නැගෙනහිර වරායේ නැව් තැනීම සහ නැව් අලුත්වැඩියා කිරීමේ කටයුතු සමඟ නැවත මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා විදේශිකයන් ඇතුළු පෞද්ගලික ආයෝජන අපේක්ෂා කරන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසයි.

නැගෙනහිර අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම වරාය වසර පහක් තිස්සේ ඉදිකරන ලදුව 2013 දී විවෘත කළ නමුත් වරායට ඇතුළු වන ස්ථානයේ වැලි කඳු ගොඩගැසීම නිසා යාත්‍රාවලට ප්‍රවේශ විය නොහැකි වී තිබේ.

දශකයකට ආසන්න කාලයක් වරාය වසා දමා තිබීම හේතුවෙන් වෙනත් රැකියා සොයා යෑම හැර වෙනත් විකල්පයක් නොමැති ලක්ෂයකට ආසන්න පිරිසකගේ ජීවනෝපායට ද බලපෑම් එල්ල විය.

ඇමැති ඩග්ලස් දේවානන්දා පවසන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන්, නාවික හමුදාවේ නිලධාරීන්, ප්‍රදේශයේ ජනතාව සහ වෘත්තිකයන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සමඟ මූලික රැස්වීමක් ඊයේ 11) පැවැත් වූ බවයි.

“අපි උත්සාහ කරන්නේ ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය සහ මෙම ප්‍රදේශයේ පවතින සම්පත් ආරක්ෂා කිරීම සඳහා මෙහෙයුම නැවත ආරම්භ කිරීමටයි. අපිට ඉක්මණින්ම මේ ඉලක්කයට යන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි,” ඇමැති ඩග්ලස් දේවානන්දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

“වැලි නිධි නිසා වරායේ පිවිසුම වැසී ගියා. අපට අවශ්‍ය වන්නේ වරායේ සම්පත් භාවිත කිරීමටයි. විදේශ ආයෝජනවලින් නැව් අලුත්වැඩියාවට සහ නැව් තැනීමට වාණිජ වරාය පෞද්ගලික අංශයට දෙනවා. අපට අවශ්‍ය වන්නේ වැලි නිධි හේතුවෙන් දැනට වසා දමා ඇති පිවිසුම විවෘත කර ප්‍රදේශයේ මුහුදු ඛාදනය වැළැක්වීමයි,”යනුවෙන් ඔහු ආයෝජකයන්ට රජයේ අපේක්ෂාව පැහැදිලි කළේය.

ඔලුවිල්, නැගෙනහිර පළාතේ වැදගත් භූගෝලීය ස්ථානයක උපායමාර්ගිකව ස්ථානගත වී ඇත.

ප්‍රවීණයන් පවසන්නේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීම ශ්‍රී ලංකාවට මත්ස්‍ය සැපයුම ඉහළ නැංවීමට උපකාරී වන අතර එමගින් ඉල්ලුම වැඩිවීමත් සමඟ මිල අඩු වීමට ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති බවයි.

මීටර් 330කින් යුතු වාණිජ වරායේ ජල ගැඹුර මීටර් 8ක් වන අතර ධීවර වරාය මීටර් 3 ක ජල ගැඹුරකින් යුත් මීටර් 200ක වෙරළකින් සමන්විත වේ.

42.31%
17.27%
32.76%