June 10, 2024

ඇමැති ජීවන් තොණ්ඩමන් මෙරට නීතිය නිර්ලජ්ජිත හා නොසැළකිලිමත් ලෙස නොසළකා හරින බවට ලංකා වැවිලිකරුවන්ගේ සංගමය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පසුගියදා නුවරඑළිය පේද්‍රෝ වතුයායේ දී ඇමැති ජීවන් තොණ්ඩමන් විසින් ප්‍රදර්ශනය කරන ලද නීති විරෝධී සහ පිළිගත නොහැකි හැසිරීම දැඩි ලෙස හෙළාදැක ඇත.

නීතිය නොසළකා හරිමින් නිර්ලජ්ජිත ලෙස ඔහු බිය ගැන්වීමේ උපක්‍රම භාවිත කිරීම වතුකරයේ ප්‍රජාව තුළ දැඩි කණස්සල්ලට හා තැතිගැන්මට හේතු වී ඇති බව එම සංගමය පවසයි.

ඔවුන් පවසන්නේ එවැනි ක්‍රියාවන් යුක්තිය සහ නීතියේ ආධිපත්‍යයේ මූලධර්මවලට හානි කරනවා පමණක් නොව සියලුම කර්මාන්ත පාර්ශ්වකරුවන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ද එල්ල කරන බවයි.

ඵලදායි නොවන තේ වෙනුවට කෝපි වගා කිරීම සඳහා බිම සකස් කිරීමින් සිටි සේවකයකුට නීතිවිරෝධී ලෙස පහර දුන් බවට සහ සමාගමේ උපකරණවලට ගිනි තැබීමට තර්ජනය කළ බවට ලැබුණු පැමිණිලි මත වැඩ තහනමට ලක් වූ සේවකයන් 3 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට බල කරමින් 2024 මැයි 30 වැනි දින තොණ්ඩමන් ඇමැතිවරයා සහ ඔහුගේ සහචරයන් නීති විරෝධී ක්‍රියා මාලාවක් සිදු කළ බව සංගමය පෙන්වා දෙයි.

පසුව විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව සිටි සේවකයන්ගේ වැඩ තහනම් කරන ලද අතර අදාළ ක්‍රියාවේ බරපතළ හා සාපරාධී ස්වභාවය සැළකිල්ලට ගනිමින් පොලිස් පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මෙය ලංකා කම්කරු කොංග්‍රසය විසින් වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් කැඳවීමට හේතු වී ඇති බවත් විනය පරීක්ෂණයක් අවසන් වූ පසු, සමාගමේ කළමනාකාරිත්වය ක්‍රමවේද අනුගමනය කරන බවත් අවධාරණය කර ඇත.

සහකාර කම්කරු කොමසාරිස් විසින් කැඳවන ලද රැස්වීමක් හරහා ගැටලුව විසඳීමට ගත් උත්සාහයන් නිෂ්ඵල වූ අතර, දේශීය පරීක්ෂණයෙන් පසු තීරණයක් බලා සිටීම වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කළේය.

මෙම සේවකයින් තිදෙනා නැවත සේවයේ පිහිටුවීමට එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට බලකිරීම සඳහා, නුවරඑළිය සහකාර කොමසාරිස්වරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු, කළමනාකාරීත්වය බිය ගැන්වීමට සහ පහර දීමට මත් වූ සහ නොහික්මුණු කල්ලියක් යොදා ගැනීමට උත්සාහ කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා රාශියකට ඇමැති තොණ්ඩමන් උසිගන්වා ඇති බවට සංගමය චෝදනා කරයි.

අනතුරුව ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු පිරිස පේද්‍රෝ වතුයායට පැමිණෙන බව දැනගත් ඇමැතිවරයා ඇතුළු පිරිස වත්තට බලහත්කාරයෙන් අනවසරයෙන් ඇතුළු වී කම්හල් පරිශ්‍රය තුළ පැය 4ක කාලයක් නීති විරෝධී ලෙස රැඳී සිට තිබේ.

බීමත් සහ නොහික්මුණු මැර පිරිසක් සමග සිටි ඔවුන්, අදාළ කම්කරුවන් 3 දෙනා වහා සේවයේ පිහිටුවන ලෙසත්, පසුදාම ඔවුන්ට වැඩ ලබා දෙන ලෙසත් ඇමැතිවරයාගේ ඉල්ලීම් පිළි නොගත හොත්, පහර දෙන බවට හා ගිනි තැබීම් කරන බවට තර්ජනය කර ඇත.

මෙම කාලය තුළ කැබිනට් ඇමැතිවරයකුගෙන් බලාපොරොත්තු වූ හැසිරීමට වඩා පහත් ආකාරයෙන් තොණ්ඩමන් ඇමැතිවරයා සහ ඔහුගේ සහචරයන් හැසිරුණු බවත් සමාගමේ දේපළවලට අනවසරයෙන් අනවසරයෙන් ඇතුළු වී, වැඩට බාධා කරමින්, කෑගසන අයුරු වීඩියෝවලට හසුව තිබෙන බව ද එම සංගමය සඳහන් කරයි.

ආසන්න අනතුර සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් පැමිණීම හමුවේ සිදුවිය හැකි ප්‍රචණ්ඩත්වය, ජීවිත හානි සහ ආපසු හැරවිය නොහැකි දේපොළ හානි වළක්වා ගැනීම සඳහා වැඩ තහනමට ලක්වූ කම්කරුවන් නැවත සේවයේ පිහිටුවන ලෙස තොණ්ඩමන් ඇමැතිවරයාගේ ඉල්ලීම්වලට කළමනාකාරීත්වය අකමැත්තෙන් වුවද එකඟ වී ඇත.

මෙම අකරතැබ්බයට මුහුණ දුන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව නියෝජිතයකුට ඔහු අත්විඳින තර්ජන සහ බිය ගැන්වීම් හේතුවෙන් ඇති වූ දැඩි ආතතිය මත රෝහල්ගත කිරීමට ද සිදුව ඇත.

වැවිලිකරුවන්ගේ සංගමය පවසන්නේ නීතියේ ආධිපත්‍යය යටපත් කරන හෝ පුද්ගලයන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළන ඕනෑම ක්‍රියාවක් තම සංගමය තරයේ හෙළාදකින බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස වැවිලිකරුවන්ගේ සංගමය රජයෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටී.

වගකිවයුත්තන් ඔවුන්ගේ ක්‍රියාවන්ට වග කියන තුරු වැවිලිකරුවන්ගේ සංගමය වගවීම වෙනුවෙන් පෙනී සිටින බව ද අවධාරණය කරයි.

42.31%
17.27%
32.76%