June 8, 2024

අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් හේතුවෙන් ප්‍රකට ඇපලෝ 8 ගගනගාමී බිල් ඇන්ඩර්ස් හදිසි අනතුරකින් මිය ගොස් තිබේ.

90 හැවිරිදි ඔහු පියාසර කරමින් සිටි කුඩා ගුවන් යානය වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජලාශයකට කඩා වැටී ඇති බව නිලධාරීහු පවසති.

ඇන්ඩර්ස්ගේ පුත් ග්‍රෙග් තම පියා කුඩා ගුවන් යානය පියාසර කරමින් සිටි බවත්, ඔහුගේ සිරුර ඊයේ (7) පස්වරුවේ ගොඩගනු ලැබූ බවත් තහවුරු කර ඇත.

“ඔහු විශිෂ්ට ගුවන් නියමුවෙක්. ඔහු නැති අඩුව අපට සෑහෙන්න දැනෙයි,” යනුවෙන් ඔහුගේ පවුල විසින් නිකුත් කළ ප්‍රකාශයකින් කියවේ.

ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවකු වූ ඇන්ඩර්ස් අභ්‍යවකාශයේ සිට පෘථිවියේ වඩාත්ම අමතක නොවන සහ ආශ්වාදජනක රූපවලින් එකක් වන සංකේතාත්මක Earthrise ඡායාරූපය ලබා ගත්තේය.

පෘථිවියෙන් පිටත් වී සඳ වෙත ළඟා වූ පළමු කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ ගුවන් ගමන වූ 1968 මෙහෙයුම අතරතුර නත්තල් සැන්දෑවේ ගත්, පින්තූරයේ දැක්වෙන්නේ නිසරු චන්ද්‍ර පෘෂ්ඨයේ සිට ක්ෂිතිජයට ඉහළින් පෘථිවිය නැගී එන ආකාරයයි.

ඇන්ඩර්ස් පසුව එය විස්තර කළේ අභ්‍යවකාශ වැඩසටහනට ඔහුගේ වඩාත්ම වැදගත් දායකත්වය ලෙසය.

මෙම රූපය ගෝලීය පාරිසරික ව්‍යාපාරය අභිප්‍රේරණය කිරීම සහ පෘථිවි දිනය නිර්මාණය කිරීමට මඟ පෑදී ඇත.

“අපි ගියේ සඳ ගවේෂණය කිරීමටයි, අපි සොයා ගත් වැදගත්ම දෙය පෘථිවියයි.” යනුවෙන් එම මොහොත ගැන කතා කරමින් ඇන්ඩර්ස් පවසා තිබේ.

එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පැවසුවේ 90 හැවිරිදි ඇන්ඩර්ස් T-34 ලෙසද හැඳින්වෙන Beechcraft A A 45 යානයක් පියාසර කරමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි.

ජෝන්ස් දූපතේ වෙරළ තීරයේ සිට අඩි 80 පමණ දුරින් යානය කඩා වැටී ඇත.

සිද්ධිය දුටුවකු පවසා ඇත්තේ විශාල පිපිරුමක් සහ ගිනිදැල් සමග යානය කඩා වැටුණු බවයි.

ඇන්ඩර්ස් ඇපලෝ 11 මෙහෙයුමේ උපස්ථ නියමුවා ලෙසද සේවය කළේය.

එය 1969 ජූලි 24 වැනි දින පළමු සඳ ගොඩබෑමට තුඩු දුන් මෙහෙයුමයි.

1969 දී ඇන්ඩර්ස් අභ්‍යවකාශ වැඩසටහනෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව, දශක කිහිපයක් අභ්‍යවකාශ කර්මාන්තයට බොහෝ දුරට සේවය කළේය.

ඔහු 1970 ගණන්වල වසරක කාලයක් නෝර්වේ හි එක්සත් ජනපද තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

නමුත් ඔහුව වඩාත් හොඳින් මතකයේ රැඳෙන්නේ ඇපලෝ 8 මෙහෙයුම සහ ඔහු අභ්‍යවකාශයේ සිට ගත් සුවිශේෂී ඡායාරූපය හේතුවෙනි.