June 8, 2024

තම සුවිශේෂී ආර්ථික කලාපයේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සාර්ථක ලෙස මාලදිවයින සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවත් එකිනෙක ඡේදනය වන කලාප සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටුම් වළක්වා ගනිමින් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

‘සුවිශේෂී ආර්ථික කලාපය’ යනු සාමාන්‍යයෙන් රටක භෞමික මුහුදෙන් ඔබ්බට නාවික සැතපුම් 200ක් පමණ දුරට විහිදෙන සාගර ප්‍රදේශය වන අතර, එහි ජීවී හා අජීවී සම්පත් යන දෙකෙහිම අධිකරණ බලය අදාළ රට සතුව ඇත.

එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ නාවික සැතපුම් 200ක සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව 2009 මැයි මාසයේදී තාක්ෂණික හා විද්‍යාත්මක දත්ත සහ අනෙකුත් තොරතුරු මහද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසම වෙත ඉදිරිපත් කරන ලදී.

ඉන්පසුව, 2016 වසරේ දී ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට කොමිෂන් සභාව අනු කොමිසන් සභාවක් පිහිටුවන ලදී.

එතැන් සිට එම කාර්යයට පවරා ඇති ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ඡා වට 11ක් පවත්වා ඇත.

අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, ශ්‍රී ලංකාව සිය මහාද්වීපික තටාකයේ පිටත මායිම උප-කොමිසම තෘප්තිමත් වන පරිදි සාර්ථකව ස්ථාපිත කර ඇති බවයි.

කෙසේවෙතත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ කොමිසමේ අනුමැතිය තවමත් ලැබීමට නියමිතය.

මෙම අනුකොමිසම සමඟ කටයුතු කිරීම සඳහා අමාත්‍යාංශය යටතේ ජාතික සාගර කටයුතු කමිටුව පිහිටුවීමට විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පසුගිය වසරේ කැබිනට් අනුමැතිය ලබා ගත්තේය.

මහාද්වීපික තටාකය යනු පොහොසත් ඛනිජ නිධි, තෙල්, ගෑස් සහ ධීවර කර්මාන්තයෙන් සමන්විත සමුද්‍ර කලාපයකි.

මෙම විශේෂිත කලාපයට සම්බන්ධ වාණිජ වටිනාකම දැවැන්තය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, සෑම රාජ්‍යයක්ම තම මහාද්වීපික තටාකය දිගු කර ගැනීමට උත්සාහ කරන්නේ එයින් උපයා ගත හැකි සම්පත් ප්‍රමාණය වෙනුවෙනි.

එක්සත් ජාතීන්ගේ නීතිවලට අනුව, රටකට මීටර් 2,500 ගැඹුරේ සිට නාවික සැතපුම් 350ක් හෝ 100ක් දක්වා මහාද්වීපික තටාක හිමිකම් තිබිය හැකිය.

මාලදිවයින සමඟ මහාද්වීපික තටාකය දිගු කිරීමේදී එකිනෙක ඡේදනය වන කලාප ඇති බව වාර්තා වේ.

මාලදිවයිනේ විදේශ කටයුතු ඇමැති මූසා සමීර් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ පිළිබඳ සාකච්ඡා කර තිබේ.

එකිනෙක ඡේදනය වන ප්‍රදේශ සම්බන්ධයෙන් ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දෙපාර්ශ්වය එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කළ බව ද දැනගන්නට ඇත.

42.31%
17.27%
32.76%