June 7, 2024

කඩිනම් පියවර ගන්නා බවට පොරොන්දු වෙමින්, 4 හැවිරිදි දැරියකට පසුගියදා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය හෙළාදකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබන ජනාධිපතිවරයා පවසන්නේ, දරුවාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, එවැනි අපයෝජනයන් හේතුවෙන් ළමයින්ට කල්පවත්නා කම්පනයන් ඇති කළ හැකි බවත්ය.

පසුගිය දිනක තම දරුවාට අමානුෂික ලෙස පහරදෙන පුද්ගලයකු වීඩියෝවකට හසුවීමේ සිද්ධිය පිළිබඳව ද ජනාධිපති වික්‍රමසිංහ මෙලෙස අදහස් පළකර ඇත.

සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වූ මෙම වීඩියෝව හේතුවෙන් ළමා අපයෝජන චෝදනා මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

“අවුරුදු 4 ක දැරියකට අමානුෂික ලෙස පහරදීම රටම භීතියට පත් කර ඇත. අධිකරණ ක්‍රියාවලිය අපරාධකරුවන්ට ආමන්ත්‍රණය කරන අතරම, අපි දරුවාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දිය යුතු අතර, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය වනු ඇත ”යැයි ජනාධිපති වික්‍රමසිංහ පවසා ඇත.

කාන්තා හා ළමා කටයුතු ඇමැතිවරයාද වන ජනාධිපතිතුමා වින්දිතයාට සහායවීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර එවැනි කම්පනයේ දිගුකාලීන බලපෑම අවබෝධ කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර තිබේ.

“දරුවන්ගෙන් තොර හෙටක් නොමැති බව අප සැම විටම මතක තබාගත යුතු අතර ඔවුන්ගේ සුබසාධනය අපගේ ඉහළම ප්‍රමුඛතාවය විය යුතුය,” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.