June 6, 2024

පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින 22 හැවිරිදි සිසුවියකට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් විසින් මසක අනිවාර්ය සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ, පුද්ගලයෙකු විසින් තමන්ව දූෂණය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙනි.

ඇයගේ පැමිණිල්ල මත අත්අඩංගුවට ගත් සැකකරු දින 14ක් රිමාන්ඩ් භාරයේ පසුවූ බව නඩු විභාගයේදී අනාවරණය විය.

සාවද්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සහ එමගින් රාජ්‍ය නිලධාරීන්ගේ බලතල අයථා ලෙස භාවිත කරමින් පුද්ගලයෙකුට අගතියක් කිරීම සම්බන්ධයෙන් පොලිසිය ඇයට චෝදනා එල්ල කර තිබිණි.

2024 අප්‍රේල් 24 වැනි දින තමාව කිසියම් පුද්ගලයකු විසින් දූෂණය කළ බවට ඇය කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ එස්.අයි. ධනජානි බස්නායක සහ ඩබ්ලිව්.පී.සී 11963 සුගන්ධිකා යන අය හමුවේ පැමිණිල්ලක් කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කෙසේවෙතත්, වැඩිදුර විමර්ශනවලින් සහ විභාග වෙමින් පවතින නඩුවකින් හෙළිව ඇත්තේ, ඇය තම පෙම්වතා වූ පුද්ගලයකුට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවයි.

පරීක්‍ෂණවලදී ඇය සැකකරු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව හෙළිවී ඇති අතර, මේ බව දැනගත් ඇයගේ මවුපියන්ට ඇය පවසා ඇත්තේ ඔහු තමාව දූෂණය කළ බවත් තමා ඔහුට ප්‍රේම නොකරන බවත්ය.

විත්තිකාර තරුණිය අගතියට පත් පාර්ශ්වයට එරෙහිව කර ඇති ප්‍රකාශ අසත්‍ය බවත්, එය දණ්ඩ නීති සංග්‍රහයේ 180 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් කුලියාපිටිය කොට්ඨාසයේ කාන්තා හා ළමා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක තේජානි වීරසේකර කරුණු දක්වා තිබේ.

පොලිසියේ කරුණු දැක්වීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විත්තිකාරියට මාසයක සිරදඬුවමක් නියම කළේය.