June 5, 2024

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) මත්පැන් අලෙවියේදී වට්ටම් ලබානොදෙන ලෙස හෝටල්වලට නියම කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ NATA වෙත කනස්සල්ල පළ කර ඇති අතර, ‘Happy Hour’ වැනි ප්‍රවර්ධන වැඩසටහන් තහනම් කිරීමෙන් රටේ වර්ධනය වන සංචාරක කර්මාන්තයට පහර එල්ලවන බව පෙන්වාදී ඇත.

පසුගිය සතියේ NATA විසින් නිකුත් කරන ලද ආන්දෝලනාත්මක නිවේදනයක් මගින් සංචාරක සහ සත්කාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ ඇහිබැම ඉහළ නංවා ඇත.

එහි පාර්ශවකරුවන් වන හෝටල් හිමියන් සහ ආපනශාලා හිමියන්, සංචාරක බලධාරීන් මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන ද මෙම පියවරට පක්ෂව නොවේ.

2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ 37(2) වගන්තිය බලාත්මක කිරීමට සහ ‘Happy Hour’ ඉවත් කිරීමට NATA ආයතනය ගත් හදිසි තීරණය ගැන ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණු අතර, ඊට එරෙහිව කර්මාන්තයේ පාර්ශවකරුවන් සන්නද්ධව නැගී සිටියේය.

මෙම පියවර මගින් සංචාරක අංශය සහ පාරිභෝගිකයන් අධෛර්යමත් කරනු ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.

මෙම ගැටලුව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරන බවට රාජ්‍ය සංචාරක බලධාරීන් පසුගිය සතියේ ප්‍රකාශ කළ අතර, ඒ අනුව NATA සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නියෝජිතයන් ඇතුළු අදාළ පාර්ශ්වයන් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වීමකට කැඳවා තිබිණි.

මෙම නීතිය හදිසියේ ක්‍රියාත්මක කරන ලෙස NATA ආයතනයෙන් ඉල්ලා සිටි පාර්ශව කවුරුන්දැයි මෙහිදී ප්‍රශ්න කෙරී ඇත.

හෝටල් හිමියන් සහ ආපනශාලා හිමියන් අධෛර්යමත් වී පාරිභෝගිකයන් වෙළදාමෙන් ඈත් කිරීමට හැකි දැඩි නීති මගින් තම ව්‍යාපාර පවත්වාගෙන යෑමට නොහැකි බැවින් මෙම හදිසි පියවර කර්මාන්තයට සෘජුවම බලපෑ හැකි බව සංචාරක බලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ‘Happy Hour’ යනු මත්පැන් නිෂ්පාදකයන්ට හෝ සිල්ලර වෙළෙන්දන්ට තම නිෂ්පාදන තොග වෙළඳපොලේ සහනදායි මිලට ප්‍රවර්ධනය කිරීමට සහ අලෙවි කිරීමට ලබාදී ඇති අවස්ථාවක් නොවන බවත්, එය සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්‍රලාභී හෝටල් හිමියන්ට සහ ආපනශාලා හිමියන්ට පමණක් මධ්‍යසාර පාන දිනයේ විශේෂිත පැය කිහිපයකදී වාට්ට සහිතව ලබාදීමට නිකුත් කර ඇති අවසරයක් පමණක් බවත්ය.

දුර්වල ආර්ථිකය නගා සිටුවීමට සංචාරක හා විනෝදාස්වාද කර්මාන්තයේ දියුණුව අත්‍යවශ්‍ය වන අතර මෙවැනි ක්‍රියාමාර්ග එවැනි ප්‍රයත්නයන්ට බාධාවක් විය හැකි බවට ජනාධිපති වික්‍රමසිංහ එහිදී පවසා ඇත.

කර්මාන්ත පාර්ශවකරුවන්ගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් උපදෙස් නොගෙන NATA ආයතනය අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ මන්දැයි ජනාධිපතිවරයා විමසා තිබේ.

මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් කළ විමසීමකදී SLTDA ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ, නීතිය සම්බන්ධයෙන් සහ ඉදිරියේදී ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය මේ වන විටත් ලබාගෙන ඇති බවයි.

මේ අතර, NATA හි නිලධාරියකු පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ තීන්දුව ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවයි.