June 1, 2024

බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතනය කර ශ්‍රී ලංකාවට පැනයෑමට සැකකරුවන් සිව් දෙනෙකු සැලසුම් කර තිබී ඇති බව නවී මුම්බායි පොලිසිය විසින් අනාවරණ කරගෙන තිබේ.

බිස්නස් ටුඩේ වාර්තා කරන්නේ සල්මන් ඛාන්ගේ බන්ද්‍රා නිවසින් පිටත වෙඩි තැබීමේ සිදුවීමෙන් මාසයකට වැඩි කාලයක් ගතවී තිබියදී නවී මුම්බායි පොලිසිය මෙම බොලිවුඩ් තරුව ඉලක්ක කර ගැනීමේ තවත් කුමන්ත්‍රණයක් අනාවරණ කරගෙන ඇති බවයි.

සල්මන් සිය පන්වෙල් ගොවිපල වෙත යමින් සිටියදී ඔහුට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පෙබරවාරි මස මුලදී පන්වෙල්හි පුළුල් ඔත්තු බැලීමක් සිදු කර ඇති බව ද වාර්තා වේ.

බන්ද්‍රා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් සැක කර ඇති මැර කල්ලි ලෝරන්ස් බිෂ්නෝයි සැලසුම් දෙකම පිටුපස සිටින බවට විශ්වාස කෙරේ. ඛාන් ඉලක්ක කිරීමට බිෂ්නෝයි කල්ලියට සවිස්තර සැලැස්මක් තිබුණි.

“අපි සිද්ධිය සම්බන්ධයෙන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත්තා. විත්තිකරු දිගු කලක් තිස්සේ නළුවා ඉලක්ක කර ගැනීමට කුමන්ත්‍රණය කරමින් පන්වෙල් හි රැඳී සිට තිබෙනවා,” යනුවෙන් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් විවේක් පන්සාරේ පැවසීය.

මුම්බායි ප්‍රහාරය සම්බන්ධයෙන් පන්සාරේ වැඩිදුරටත් පැවසුවේ, බිෂ්නෝයිට එකිනෙකින් ස්වාධීනව ක්‍රියා කරන කණ්ඩායම් කිහිපයක් ඇති අතර, එක් කල්ලියක් පන්වෙල්හි ඔත්තු බැලීමේ යෙදී සිටින අතර තවත් කල්ලියක් මුම්බායි හි ක්‍රියාත්මක වූ බවට සැක කරන බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධනංජය ටපේසිං නොහොත් අජේ කාශ්‍යප්, ගෞරව් භාටියා නොහොත් නහ්වි, වප්සි ඛාන් හෙවත් වසීම් චික්නා සහ රිස්වාන් ඛාන් ලෙසින් හඳුනාගෙන ඇති අතර, ඔවුන් බිෂ්නෝයි කල්ලියේ සම්බන්ධීකරණ වැඩසටහන්වල කොටස්කරුවන් බව බිස්නස් ටුඩේ වාර්තා කරයි.

පන්වෙල් ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක නිතින් තාක්රේට මෙම කල්ලිය පන්වෙල්හි සිටින බවට ලැබුණු ඔත්තුවක් මත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ප්‍රහාරය සඳහා AK-47 ගිනිඅවි ලබා ගැනීම සඳහා කාශ්‍යප් පකිස්ථානයේ පදිංචි ඩෝගාර් නම් පුද්ගලයකු සමඟ සම්බන්ධ වී සිටි බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ප්‍රහාරකයන් ශ්‍රී ලංකාවට පළා යෑමට පෙර කන්‍යාකුමාරි ප්‍රදේශයේ යළි එක්රැස් වීමට ද සැලසුම් කර තිබී ඇත.

බන්ද්‍රා වෙඩි තැබීමේ සිද්ධියට කිසියම් සම්බන්ධයක් ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා බලධාරීන් මේ වන විට සැකකරුවන් හතර දෙනාගෙන් ප්‍රශ්න කරමින් සිටී.

මුම්බායි අපරාධ අංශය විසින් බන්ද්‍රා නඩුවට අදාළව පුද්ගලයන් හය දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත.