May 31, 2024

පොලිසියේ රාජකාරි සඳහා පැමිණි බවට පොලිස් පොත්වල බොරු සටහන් යොදා වැටුප් සහ අනෙකුත් දීමනා ලබාගන්නා අතරවාරයේ මහා පරිමාණ සත්ව ගොවිපොළ දෙකක් පවත්වාගෙන ගියේ යැයි කියන කුලියාපිටිය දුම්මලසූරිය පොලිස් ස්ථානයේ සැරයන්වරයකු සම්බන්ධයෙන් වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත කර ඇති පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.

සැරයන්වරයා පවත්වාගෙන යන්නේ යැයි කියන මහා පරිමාණ සත්ව ගොවිපොළ දෙකේ සේවය සඳහා ඔහු දන්නා හඳුනන්නේ යැයි පැවැසෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින හයදෙනකු යොදවා ගෙන ඇති බවත්, එයින් එක් අයකුට පෙර වැරදි දහයක් පමණ තිබෙන බවත් පරීක්ෂණවලින් හෙළි වී යැයි පොලිසිය සඳහන් කරයි.

මෙම සත්ත්ව ගොවිපොළවල සේවය කරන හයදෙනාගෙන් කිහිපදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇති බව විශේෂ විමර්ශන ඒකකය කියයි.

මෙම මහා පරිමාණ සත්ව ගොවිපොළ දෙකේ සේවයට යොදවාගෙන සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් හයදෙනාට වැටුප් ගෙවනු ලබන බව කියන්නේ ද ප්‍රදේශයේ විවිධ නීතිවිරෝධී ක්‍රියා සිදුකරන්නන් බවට ද තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිස් සැරයන්වරයාගේ පුතාගෙන්ද පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සත්ව ගොවිපොළ දෙකේ සේවයට යොදවාගෙන ඇති බව එම ප්‍රශ්න කිරීම් කිරීම්වලදී ද හෙළිවිණැයි පොලිසිය පවසයි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු මත විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් යොදවා මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

මාස ගණනාවක් තිස්සේ මොහු පොලිසියේ රාජකාරී සඳහා පැමිණ ඇත්තේ ඉතා අඩු දින ගණනාවක් පමණක් බවත්, එහෙත් දිනපතා රාජකාරියට වාර්තාකර ඇති බවට පොලිස් පොත්වල ව්‍යාජ සටහන් යොදා මාසිකව වැටුප් සහ අනෙකුත් දීමනා ද ලබාගෙන ඇති බව පොලිසියේ පොත්පත් කිහිපයක් පොලිස් භාරයට ගෙන කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම පොලිස් සැරයන්වරයා දුම්මලසූරිය පොලිසියේ රාජකාරී කරන ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල් රියැදුරකු යොදවාගෙන ඔහුගේ (සැරයන්වරයාගේ) අත්සන ව්‍යාජ ලෙස ගසා රාජකාරියට වාර්තා කර කළ බවට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි කියති.

ව්‍යාජ අත්සන් ගැසීමට සහ ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීමට යොදවා ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාගෙන් ද විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පෙරේදා ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

පොලිස් සැරයන්වරයාගේ කීමට තමන් මෙවැන්නක් කිරීමට පෙළැඹුණු බව කොස්තාපල්වරුන් තිදෙනා ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට තිබේ.(ලංකාදීප)

42.31%
17.27%
32.76%