May 30, 2024

ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය එරට ජාතික අගනුවර වන දිල්ලියෙන් ඊයේ වාර්තා වී තිබේ.

ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ඊයේ (බදාදා) සවස 2.30ට දිල්ලියේ මුංගේෂ්පූර් ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 52.3ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත.

කෙසේවෙතත් සවස් වන විට නවදිල්ලි නගරයට වැසි ලැබී තිබුණේ අධික රස්නයට මද සහනයක් ගෙන දෙමිනි.

ඊයේ දිනයේදී ඉතා ඉහළ උෂ්ණත්වයක් වාර්තා වූ ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ අතර රාජස්ථානයේ ෆාලෝඩි (සෙල්සියස් අංශක 51) සහ හර්යානා හි සර්සා (සෙල්සියස් අංශක 50.3) විය.

මෙයට අමතරව, උතුරු ඉන්දියාවේ ප්‍රධාන නගරවල දැඩි තාප තරංග තත්ත්වයක් මධ්‍යයේ දිල්ලියෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම විදුලිබල ඉල්ලුම මෙගාවොට් 8,302 (MW)ක් ද වාර්තා කර ඇත.

ඉහළ උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිසුන් ක්ලාන්ත වීමේ සිදුවීම් ද වාර්තා වී ඇත.

පසුගිය සතියේ සිට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට තාප තරංග අනතුරු ඇඟවීම් ද ක්‍රියාත්මක විය.

සෙල්සියස් අංශක 50ට වැඩි උෂ්ණත්වය බොහෝ විට ලෝකයේ දුර්ලභ ලෙස සැළකේ.

මෙතරම් ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී ඇති ස්ථාන බොහෝ දුරට දැකිය හැකි වුයේ මැදපෙරදිග හෝ දකුණු ආසියානු කලාපය ආශ්‍රිතවය.

මීට පෙර මොරොක්කෝව, ටියුනීසියාව, ලිබියාව, ඊජිප්තුව, ඊශ්‍රායලය, ඉරාකය, ඉරානය, ඕමාන්, කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, සෞදි අරාබිය, පකිස්ථානය මෙන්ම ඉන්දියාව වැනි රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට වැඩි අවස්ථා වාර්තා වී ඇත.

එම රටවලට අමතරව, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ද පසුගිය කාලය තුළ මෙවැනි ඉහළ උෂ්ණත්වයන් වාර්තා කර තිබිණි.

ගිනස් ලෝක වාර්තාවට අනුව එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ඩෙත් නිම්නයේ ග්‍රීන්ලන්ඩ් රැන්ච් වෙතින් 1913 ජූලි 10 වන දින වාර්තා වූ සෙල්සියස් අංශක 56.7ක උෂ්ණත්වය මෙතෙක් ලොව වාර්තා වී ඇති ඉහළම නිල උෂ්ණත්වයයි.

ඒ, වසර 100 කට පමණ පෙර ලිබියාවේ එල් අසීසියා හි වාර්තා වූ සෙල්සියස් අංශක 58ක උෂ්ණත්වය ඉහළම උෂ්ණත්වය ලෙසට සටහන් වී තිබූ වාර්තාව 2012 දී, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අවලංගු කිරීමෙන් පසුවය.

අප්‍රිකාවෙන් වාර්තා වී අතිඕ උණුසුම්ම උෂ්ණත්වය සෙල්සියස් අංශක 55ක් වන අතර එය 1931 දී ටියුනීසියාවේ කෙබිලි ප්‍රදේශයෙන් වාර්තා වූ බව අල් ජසීරා වාර්තා කරයි.

තවද, 2017 දී වාර්තා වූ ආසියාවේ උණුසුම්ම නිල උෂ්ණත්වය සෙල්සියස් අංශක 54ක් ලෙස ඉරානයෙන් වාර්තා වී ඇති බවත් ඕස්ට්‍රේලියාවේ, සෙල්සියස් අංශක 50.7 ක උෂ්ණත්වයක් 1960 ජනවාරි 2 වැනි දින Oodnadatta ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

යුරෝපයේ, මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය 2021 අගෝස්තු 11 වැනිදා ඉතාලියේ සිසිලි දූපතෙන් වාර්තා වී ඇත්තේ සෙල්සියස් අංශක 48.8ක් ලෙසිනි.

මේ අතර, එක්සත් රාජධානියේ උපරිම උෂ්ණත්වය 2022 ජූලි 19 වැනි දින සෙල්සියස් අංශක 40.2ක් ලෙසින් සටහන් වී තිබේ.