May 28, 2024

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළත් මෙරට උත්තරීතර අධිකරණ සඳහා විනිසුරුවරුන් පත්කිරීමේ ප්‍රමාදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ගොනු කෙරිණි.

2008 සිට 2010 දක්වා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆීජි ජනරජය සහ පැපුවා නිව්ගිනියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ජනාධිපති නීතීඥ සේනක වල්ගම්පාය මෙම පෙත්සම ගොනුකර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ජනාධිපතිවරයාගේ නියෝජිතයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු කිහිපයක් මාස කිහිපයක් තිස්සේ ඇති වී තිබෙන අතර, විනිසුරුවරුන් පත්කිරීම් නිසිපරිදි සිදුකිරීමට ජනාධිපතිවරයා අසමත් වී ඇති බව පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබේ.

එම නිසා යුක්තිය පසිඳලීම සඳහා විනිසුරුවරුන්ගේ හිඟයක් ඇති වී තිබෙන බව හා ජනතාවගේ අධිකරණ බලය දැඩි ලෙස හෑල්ලූවට ලක් වී, යුක්තිය වෙත ප්‍රවේශ වීමට ජනතාවට ඇති අයිතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති නීතියේ සමාන ආරක්ෂාවට බලපෑම් එල්ල වී තිබෙන බව ඔහු සිය පෙත්සමෙන් පෙන්වාදෙයි.

පුරප්පාඩුව ඇති වූ දිනයේ සිට සතියක් හෝ වෙනත් කාල සීමාවක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට පත්වීම් කළ යුතු බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් සිය පෙත්සම ගොනු කරමින් ඉල්ලා ඇත.

නීතීඥ අමිල කුමාර මඟින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

42.31%
17.27%
32.76%