May 25, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලි අධ්‍යක්ෂ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් LPL හා සම්බන්ධ දුෂණවලට සහ තරඟ පාවාදීම්වලට සම්බන්ධ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ එල්ල කරන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කරයි.

2020 වසරේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලක මණ්ඩලය සහ LPL සඳහා වන සංවිධායක අධිකාරිය ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට තම කැපවීම අවධාරණය කරයි.

ක්‍රිකට් ආයතනය පවසන ආකාරයට, LPL තරඟාවලියේ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අධීක්‍ෂණය කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සහාය ලබාගෙන ඇත.

එහි නිලධාරීන් ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස මෑත කාලීන LPL ක්‍රීඩක වෙන්දේසියට සහභාගී වී නිරීක්ෂණය කළ බව ක්‍රිකට් ආයතනය පවසයි.

ඔවුන් දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවෙකුගේ සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට දැනුම්දුන් බවත්, මෙම තොරතුරු හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වාදෙයි.