May 23, 2024

සොරකම් කළ යතුරුපැදි පාතාල සාමාජිකයන් සඳහා සපයන ජාලයක් මිනුවන්ගොඩ පොලිසිය විසින් අනාවරණ කරගෙන තිබේ.

මේ බව හෙළිකර ගැනීමට හැකිවී ඇත්තේ සොරකම් කරන ලද යතුරුපැදි එකොළහක් ළඟ තබාගෙන සිටි තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමඟය.

මේ වන විට පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව රඳවාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි සුබසිංහ ආරච්චිගේ තරිඳු ජූඩ් ලක්මාල් පෙරේරා හෙවත් ‘කෙහෙල්බරා ජූඩ්’ සහ වික්‍රමහෙට්ටෝ කෝන්තිලගේ හසිත ප්‍රසාද් කුමාර හෙවත් ‘පාතගහවත්ත සුද්දා’ යන අයයි.

මිනුවන්ගොඩ දෙවලපොල ප්‍රදේශයේදී එක් සැකකරුවකු යතුරුපැදියක් සොරකම් කර පළායමින් සිටියදී අත්අඩංගුවට ගැනීමත් සමඟ විමර්ශන ආරම්භ කර තිබිණි.

ප්‍රශ්න කිරීමේදී ඔහු මෙම පුළුල් සොරකම් ජාලයේ මෙහෙයුමේ තොරතුරු හෙළි කර තිබේ.

සැකකරුවන් කාන්තාවන් අතර ජනප්‍රිය යතුරුපැදි 17ක් සොරකම් කර පාතාල කල්ලිවලට අලෙවි කර ඇති බව පොලිසිය අනාවරණ කරගෙන ඇත.

සැකකරුවන් සොරකම් සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගියදා හොරණ ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ යතුරුපැදියක් මෙම සැකකරුවන් විසින් පාතාලයට විකුණා ඇති බවට වැඩිදුරටත් අනාවරණ වී ඇත.

42.31%
17.27%
32.76%