May 22, 2024

ජාතික පොලිස් කොමිසමට (NPC) පසුගිය වසරේ දී මහජන පැමිණිලි 2,448ක් ලැබී තිබේ.

ප්‍රධාන වශයෙන් පොලිස් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව, බලය අවභාවිතය, පක්ෂග්‍රාහීත්වය සහ අසත්‍ය චෝදනා සකස් කිරීම සම්බන්ධ ගැටලු එම පැමිණිලිවලට අයත් බව පැවසේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනය යටතේ 2002 දී පිහිටුවන ලද ජාතික පොලිස් කොමිසම වෙත විනය, විශ්වසනීයත්වය සහ ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා පොලිස් බලකාය ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම පවරා ඇත.

ජාතික පොලිස් කොමිසමට 2023 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා ලැබී ඇති මුළු පැමිණිලි 2,448 අතරට බස්නාහිර පළාතෙන් 1,002ක්, දකුණු පළාතෙන් 332ක් සහ වයඹින් පැමිණිලි 221ක් ලැබී ඇත.

ඊට අමතරව මධ්‍යම පළාතෙන් 195ක්, සබරගමුව පළාතෙන් 193ක්, උතුරු මැද පළාතෙන් 160ක්, නැගෙනහිර පළාතෙන් 130ක්, ඌව පළාතෙන් 129ක් සහ උතුරු පළාතෙන් 86ක් වශයෙන් පැමිණිලි ලැබී ඇත.

සැළකිව යුතු දුක්ගැනවිලි 810ක් වාර්තා වී ඇත්තේ පොලිසියේ අකාර්යක්ෂමතාව සම්බන්ධයෙනි.

බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධ පැමිණිලි 563ක් සහ පාක්ෂිකභාවය සම්බන්ධ පැමිණිලි 450ක් ද මේ අතර වේ.

පැමිණිලි 112ක් ‘අල්ලස සහ දූෂණ’ පිළිබඳ අවස්ථා පිළිබඳව ය.

බොරු චෝදනා සකස් කිරීම සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 93කි.

මීට අමතරව, ‘මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි’ (පැමිණිලි 55), ‘නීති විරෝධී රඳවා තබා ගැනීම’ (පැමිණිලි 34), ‘පහර දීම’ (පැමිණිලි 32) සහ ‘වධහිංසා’ (පැමිණිලි 17) වැනි සිද්ධීන් පිළිබඳව ද ජාතික පොලිස් කොමිසමට පැමිණිලි ලැබී ඇත.

‘කාන්තාවන්ට සහ ළමයින්ට හිරිහැර කිරීම’ සම්බන්ධ පැමිණිලි 13 ක් සහ ‘පොලිස් අත්අඩංගුවේ දී මිය යෑම’ පිළිබඳ පැමිණිලි තුනක් ද පසුගිය වසරේ ලැබී තිබේ.

ඉතිරි පැමිණිලි අයත් වන්නේ ‘වෙනත්’ ගණයටය.

වාර්තා වී ඇති පැමිණිලි 2,448න් බස්නාහිර පළාතෙන් 707ක්, දකුණු පළාතෙන් 264 ක්, වයඹ පළාතෙන් 185ක්, මධ්‍යම පළාතෙන් 172ක්, සබරගමුව පළාතෙන් 164ක්, ඌව පළාතෙන් 119ක්, උතුරු මැද පළාතෙන් 105ක්, නැගෙනහිර පළාතෙන් 103ක් සහ උතුරු පළාතෙන් 68ක් ඇතුළුව පැමිණිලි 1,887ක් නොවිසඳී ඇත.

ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශයේ ‘1960’ ක්ෂණික ඇමතුම් අංකයට මහජන පැමිණිලි 4,409ක් ලැබී ඇත.

මේ අතරින් 720ක් පොලිස් ස්ථාන භාර නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඇතුළු අදාළ නිලධාරීන් වෙත යොමු කර විසඳා ඇති අතර, පැමිණිලි 3,689ක් ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි ඒවා ලෙස හඳුනාගෙන ඇත.

පසුගිය මාස කිහිපය තුළ පොලිස් නිලධාරීන් තම අධිකාරිය අයුතු ලෙස භාවිත කරමින් මහජනතාව අපහසුතාවට පත්කිරීමේ සිදුවීම්වල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබී තිබේ.

තම රාජකාරිය නිසියාකාරව ඉටු නොකිරීම සහ විවිධ ආකාරයෙන් බලතල අවභාවිත කළ බවට චෝදනා එල්ල වූ එවැනි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ආරම්භ කර ඇත.

42.31%
17.27%
32.76%