May 21, 2024

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ඇතුළු පුද්ගලයන් 9 දෙනකුට මරු කැඳවූ හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් පසු ඔවුන් සමඟ ගමන්ගත් ප්‍රධාන පූජකවරයකු වන හොජ්ජටුල්ඉස්ලාම් අල් හෂීම් පැය 18ක පමණ කාලයක් ජීවතුන් අතර සිටි බවත් එම කාලය ඇතුළත ජනාධිපති කාර්යාලයට දුරකතන ඇමතුමක් දීමට දැඩි උත්සාහයක නිරත වී ඇති බවත් එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

මෙහෙයුම් කණ්ඩායම් අදාළ ස්ථානය වෙත ළඟා වන විට ද ජීවතුන් අතර සිටි ප්‍රධාන පූජකවරයා ඉන් පැයකට පමණ පසු ජීවිතක්ෂයට පත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

ඝන මීදුම හේතුවෙන් සිදුවූ අනතුරක් බවට මූලික පරීක්ෂණයේදී වාර්තා වුවද මේ අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට ඉරානය තීරණය කරන්නේ නම් ඒ සඳහා සියලු ආකාරයෙන් සහාය වීමට ඉදිරිපත් වන බව රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජියෝ ෂොයිගු ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජනාධිපතිවරයාට මරු කැඳවූ මාරක හෙලිකොප්ටර් අනතුර සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස එරට යුද හමුදාවේ කාර්ය මණ්ඩල ප්‍රධානි මොහොමඩ් බගේරි නියෝග කර ඇතැයි ඉරාන ජනමාධ්‍ය සඳහන් කරයි.

හෙලිකොප්ටර් අනතුරට සැබෑ හේතුව සොයාගැනීමට එරට ඉහළ මට්ටමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර එම පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස ඔහු නියෝග කර ඇතැයි වාර්තා වේ.

42.31%
17.27%
32.76%