May 20, 2024

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මියයෑමත් සමග එරට ව්‍යවස්ථාව මත පදනම්ව අන්තර්වාර ජනාධිපති වීමට නියමිතව ඇත්තේ ඉරානයේ පළමු උප ජනාධිපතිවරයා වන 68 හැවිරිදි මොහොමඩ් මොක්බර්ය.

ඒ අනුව ඔහු අන්තර්වාර ජනාධිපති ලෙස, හිටපු ජනාධිපතිවරයාගේ මරණයෙන් දින 50ක් ඇතුළත නව ජනාධිපතිවරණයක් සංවිධානය කරනු ලබන ත්‍රිපුද්ගල කවුන්සිලයක සාමාජිකයකු බවට පත්වේ.

එම කවුන්සිලයේ සෙසු සාමාජිකයන් වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියායි.

1955 සැප්තැම්බර් 1 වන දින උපත ලැබූ මොක්බර්, රයිසි මෙන්, රාජ්‍යයේ සියලු කාරණා සම්බන්ධයෙන් අවසාන ප්‍රකාශය කරන උත්තරීතර නායක අලි කමේනිගේ සමීපතමයෙකු ලෙස සැළකේ.

2021 දී ඊබ්‍රාහිම් රයිසි ජනාධිපති ලෙස තේරී පත් වූ විට මොක්බර් පළමු උප ජනාධිපති බවට පත්විය.

ඔක්තෝබර් මාසයේදී මොස්කව් වෙත ගිය ඉරාන නිලධාරීන් කණ්ඩායමක සාමාජිකයකු වූ මොක්බර්, රුසියානු හමුදාවට ගොඩබිම් මිසයිල සහ තවත් ඩ්‍රෝන යානා සැපයීමට එකඟ වූ බව එකල වාර්තා විය.

මෙම කණ්ඩායමට ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු සහ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ නිලධාරියකු ද ඇතුළත් විය.

මොක්බර් මීට පෙර උත්තරීතර නායකයාට සම්බන්ධ ආයෝජන අරමුදලක් වන Setad හි ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබේ.

යුරෝපා සංගමය විසින් ‘න්‍යෂ්ටික හෝ බැලස්ටික් මිසයිල ක්‍රියාකාරකම්’වලට සම්බන්ධ යැයි කියනු ලබන පුද්ගලයන් සහ ආයතන ලැයිස්තුවකට 2010 දී, මොක්බර් ඇතුළත් කර තිබිණි.

වසර දෙකකට පසු, ඔහුව එම ලැයිස්තුවෙන් ඔවුන් ඉවත්කිරීමට පියවර ගෙන තිබිණි.

2013 දී, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් Setad අරමුදල සහ එය අධීක්‍ෂණය කළ සමාගම් 37ක් සම්බාධක ලැයිස්තුවකට එකතු කරන ලදී.

Setad(Setad Ejraiye Farmane Hazrate Emam) නොහොත් ඉමාම්ගේ නියෝගය ක්‍රියාත්මක කිරීමේ මූලස්ථානය, ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ, කමේනිගේ පූර්වගාමියා වූ Ayatollah Ruhollah Khomeini විසින් නිකුත් කරන ලද නියෝගයක් යටතේ පිහිටුවන ලද්දකි.

1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු අවුල් සහගත වසරවලදී අතහැර දැමූ යැයි කියනු ලබන දේපළ විකිණීමට සහ කළමනාකරණය කිරීමට සහ ලැබෙන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් පුණ්‍ය කටයුතු සඳහා යොමු කරන ලෙස එමගින් සහායකයන්ට නියෝග කර තිබේ.