May 17, 2024

ශ්‍රී ලංකා රේගුව විසින් Crystal Methamphetamine ලෙසද හැඳින්වෙන විශාල ‘අයිස්’ තොගයක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 100 ක් පමණ වන බව පැවැසේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය ග්වාතමාලාවේ සිට ගුවන් තැපැල් සේවාව හරහා පාර්සලයකින් පැමිණ ඇති බව වාර්තා වේ.

සීදූව ප්‍රදේශයේ කුරියර් සේවාවකට එවන ලද පාර්සලයේ තිබූ මෝටර් රථ එන්ජින් කොටසක් (පුලි) තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

මෙම පාර්සලය පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගොවියකුට යොමුකර ඇත.

අදාළ තරුණයා අද (17) පස්වරුවේ එම පාර්සලය ලබාගැනීම සඳහා ගබඩාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඔහු ඉදිරියේ පාර්සලය විවෘත කර තිබේ.

පසුව එම පාර්සලය තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය හඳුනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 101 ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් කෝටි 10 ක් පමණ වන බව ගණන් බලා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සමඟ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර ඇත.

42.31%
17.27%
32.76%