May 14, 2024

පසුගියදා අහුන්ගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොස්ගොඩ, දූවාමෝදර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මැයි 08 වැනිදා අහුන්ගල්ල ප්‍රදේශයේ සිදු කළ මාරාන්තික වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩි තැබූ පුද්ගලයාට උදව් කර ඇති බවට සැක කෙරේ.

අත්අඩංගුවට ගැනීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1150ක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොස්ගොඩ පොලිසියට භාරදී ඇති බව පොලිසිය පවසයි.

අහුන්ගල්ල ප්‍රදේශයේදී සිදු වූ එම වෙඩි තැබීමේ සිද්ධියෙන් 54 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබිණි.

රාත්‍රී 7.40 ට පමණ යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයන් වෙඩි තැබීමට පෙර මියගිය පුද්ගලයා නිවසින් පිටතට කැඳවා තිබේ.

මියගිය පුද්ගලයා දකුණු පළාතේ විවිධ මිනීමැරුම් සහ අපරාධ නඩුවලට සම්බන්ධ සැකකරුවකු වන ‘බබා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලගේ පියා බවට හඳුනාගෙන ඇත.

එබැවින් මෙම ඝාතනය ‘කොස්ගොඩ සුජී’ සහ ‘රත්ගම විදුර’ නමැති කුප්‍රකට පුද්ගලයන් ප්‍රමුඛ දකුණේ පාතාල කල්ලි දෙකක් අතර පවතින කල්ලි ගැටුමට සම්බන්ධ බවට පොලිසිය සැකකරයි.

42.31%
17.27%
32.76%