May 12, 2024

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp හරහා නිකුත් කිරීමට සම්බන්ධ වූ උපකාරක පන්ති ගුරුවරයා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ප්‍රශ්න පත්‍රය සංසරණය වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

උපකාරක පන්ති ගුරුවරයා විසින් ප්‍රශ්න පත්‍රය බෙදාගෙන ඇති වට්ස්ඇප් සමුහයේ සාමාජිකයන් 1025ක් සිටින බවටද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය මැයි 9 වැනිදා පැවැත්වුණු අතර කාලසටහනට අනුව පෙරවරු 8.30ට ප්‍රශ්න පත්‍රය සිසුන්ට බෙදා දී ඇත.

කෙසේවෙතත් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.11ට පමණ මෙම ගුරුවරයා විසින් WhatsApp කණ්ඩායමට නිකුත් කර ඇති බව මේ වන විට අනාවරණ වී තිබේ.

අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

2023 අ.පො.ස (සා.පෙළ) විභාග මැයි 6 වැනිදා ආරම්භ වූ අතර මැයි 15 වැනිදා දක්වා පැවැත්වේ.

දැනට පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සංසරණය කිරීම සම්බන්ධයෙන් හසලක ඉංග්‍රීසි ගුරුවරයකුගේ සහ ඔහුගේ මවගේ ජංගම දුරකථන ද මීට පෙර පොලිස් භාරයට ගෙන තිබිණි.

 

42.31%
17.27%
32.76%