May 11, 2024

ජපානයේ දී පෙති කපන ලද පාන් පැකට් දෙකකින් මීයකුගේ සිරුරේ කොටස් සොයාගැනීමත් සමග එම කාණ්ඩයේ පාන් පැකට් 100,000කට වැඩි ප්‍රමාණයක් නැවත කැඳවීමට නිෂ්පාදන සමාගම කටයුතුකර තිබේ.

ඉහළ සනීපාරක්‍ෂක ප්‍රමිතීන් ඇති රටක් ලෙස සුප්‍රසිද්ධ ජපානයේ ආහාර නැවත කැඳවීම දුර්ලභය.

පැස්කෝ ෂිකිෂිමා පාන් නිෂ්පාදන සමාගම පැවසුවේ මීයන්ගේ කොටස් එහි නිෂ්පාදනවලට ඇතුළුවූයේ කෙසේද යන්න පිළිබඳ විමර්ශනය කරන බවයි.

ජපන් උදේ කෑම මේසවල ප්‍රධාන ආහාරයක් වන සැකසූ සුදු ‘චොජුකු පාන්’ අනුභව කිරීමෙන් පසු කිසිවකු අසනීප වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැති බව සමාගම පවසයි.

පාන් පැකට් 104,000ක් පමණ ආපසු කැඳවා තිබේ.

“අපගේ ගනුදෙනුකරුවන්ට වූ කරදරය ගැන අපි ගැඹුරින් සමාව අයදින්න කැමතියි,” සමාගම අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

පාන් පැකට් දෙකක් කළු මීයකුගේ කොටස් තිබී ඇති බව පැස්කෝ තහවුරු කළේය.

පැස්කෝ පාන් නිෂ්පාදනය කරන්නේ ටෝකියෝ හි කර්මාන්ත ශාලාවක වන අතර, එහි එකලස් කිරීමේ මාර්ගය පරීක්ෂණයක් තෙක් අත්හිටුවා ඇති බව සඳහන් වේ.

මෙවැන්නක් නැවත සිදු නොවන බව සහතික කිරීම සඳහා සිය තත්ත්ව කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කරන බව ද සමාගම වැඩිදුරටත් පැවසීය.

ජපානයේ පිරිසිදුකම සහ සනීපාරක්ෂාව බැරෑරුම් ලෙස සළකනු ලැබේ.

එහෙත් ආහාර විෂ වීම් ඉඳහිට ජපන් සිරස්තල බවට පත් කරයි.

පසුගිය වසරේ, සහල් බෝලයක කැරපොත්තකු හමුවීමෙන් පසු 7-Eleven ගබඩා ජාලය සමාව අයැද ඒවා නැවත කැඳවන බව නිවේදනය කළේය.

ජපානයේ ඖෂධ නිෂ්පාදකයකු වන කොබයාෂි ෆාමසියුටිකල් විසින් කොලෙස්ටරෝල් අඩු කිරීමට අදහස් කරන ආහාරමය අතිරේක නැවත කැඳවීමක් ද වාර්තා විය.

සමාගම පසුගිය මාසයේ පැවසුවේ රතු යීස්ට් සහල් අඩංගු නිෂ්පාදනවලට සම්බන්ධ විය හැකි මරණ පහක් පිළිබඳ විමර්ශනය කරන බවයි.