May 7, 2024

වීදි වෙළෙන්දන්ගේ භාණ්ඩ සහ නිෂ්පාදන සඳහා මිල නියම කිරීමට තම අධිකාරියට හැකියාවක් නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

කෙසේවෙතත් එම අධිකාරිය පවසන්නේ පාරිභෝගික අධිකාරි පනත මගින් ලබා දී ඇති බලතල තුළ වීදි වෙළෙන්දන් විසින් අලෙවි කරන භාණ්ඩවල මිල සහ ගුණාත්මකභාවය නියාමනය කිරීමට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවයි.

වීදි වෙළෙන්දන්ගේ විෂමාචාර සම්බන්ධයෙන් සිදුවීම් රැසක් පසුගිය සමයේ වාර්තා වී තිබිණි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ පවසන්නේ අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් දියත් කරමින් තත්ත්වය අනුව ක්‍රියා කිරීමට තම අධිකාරියට බලය ඇති බවයි.

කෙසේවෙතත්, මෙම වීදි වෙළෙන්දන් සඳහා මිල නියම කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

විදේශිකයන් සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම්, එවැනි ආරවුල් සමථයකට පත් කිරීමට සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තම අධිකාරිය සංචාරක පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බව ද ඔහු සඳහන් කරයි.

මෙම වර්ගයේ වෙළෙන්දන් සම්බන්ධ වෙළඳපොළ විෂමාචාර පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩි අවධානයක් යොමු කර ඇති බව පවසන ඔහු මෙම වීදි වෙළෙන්දන් අලෙවි කරන මිල සහ ගුණාත්මකභාවය අනුව ඔවුන් අධීක්ෂණය කරන බව සඳහන් කරයි.

මෙම වීදි වෙළෙන්දන් නියාමනය කිරීම සඳහා නීති රීති සැකසීමට පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත බලයක් නොමැති නමුත් විශේෂිත කරුණු සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කිරීමට බලය ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

නීති සම්පාදනය කළ යුත්තේ පාර්ලිමේන්තුව සහ ඇමැති මණ්ඩලය විසින් බවත් ගැසට් මගින් උපදෙස් නිකුත් කිරීමට අධිකාරියට බලය ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

අධිකාරිය විසින් එවැනි උපදෙස් ගණනාවක් නිකුත් කර ඇති අතර සංචාරකයන් සම්බන්ධ නවතම සිදුවීම් සම්බන්ධයෙන් ද කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු සඳහන් කරයි.

සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය වූ විදේශිකයන්ගෙන් අධික මිලක් අය කිරීමට උත්සාහ කරන වීඩියෝ පට මත පදනම්ව පසුගියදා පොලිසිය විසින් වීදි වෙළෙන්දන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

සඳහන් කළ මිලට භාණ්ඩ මිලදී ගැනීම විදේශිකයන් ප්‍රතික්ෂේප කළ විට වෙළෙන්දන් ද කලහකාරී ලෙස හැසිරෙන අයුරු දක්නට ලැබිණි.

මේ අතර, පාරිභෝගික අයිතීන් පිළිබඳ සංවිධාන සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු බොහෝ පාර්ශ්ව වීදි වෙළඳසැල් නියාමනය කිරීමට මැදිහත් නොවීම සම්බන්ධයෙන් රජයට සහ එහි බලධාරීන්ට දෝෂාරෝපණය කර තිබේ.

42.31%
17.27%
32.76%