May 6, 2024

ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හේතුවෙන් 16 හැවිරිදි පිරිමි ළමයකු සිය මව ඝාතනය කර ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි.

යාපනය, තෙලිප්පලෙයි පොලිස් වසමේ පිහිටි නිවසක 38 හැවිරිදි කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් සිටියදී පසුගිය සිකුරාදා (මැයි 03) සොයාගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, කාන්තාව මියගිය වේලාව ඇස්තමේන්තු කිරීමේදී එම කාන්තාව සහ පුත්‍රයා නිවසේ තනිව සිට ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

මව විසින් පුත්‍රයාගේ ජංගම දුරකථනය තමන් භාරයට ගෙන එම උපකරණය මිත්තණියට භාරදීම ගැන තරුණයා නොසතුටට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙම පිරිමි ළමයා සෙනසුරාදා අලුයම පාපැදියකින් නිවසින් පිටව ගොස් ඇති අතර තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු විදේශගත වන්නට ඇතැයි සැකකරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා ඇතුළු අන්තර්ජාලයට දරුවා ඇබ්බැහි වී සිටි බවට සාක්ෂි ද සොයාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව පැවසීය.

දරුවා සූදු ක්‍රීඩාවට හෝ වෙනත් අන්තර්ජාල වේදිකාවලට ඇබ්බැහිවීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට සැකකරන බව ඔහු පැවසීය.

තම දරුවන්ට සීමාවකින් තොරව ජංගම දුරකථන භාවිත කිරීමට ඉඩදීමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවට අනතුරු අඟවයි.

දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම වැළැක්වීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම මව්පියන්ගේ වගකීමක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%