May 4, 2024

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැමිණීමේ වීසා( on-arrival visa) බලපත්‍ර නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රධාන තාක්‍ෂණ හවුල්කරු ලෙස VFS Global ඇතුළු විදේශීය සමුහයකට ප්‍රදානය කිරීම නියමිත ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව සිදු කර ඇති බැවින් තවදුරටත් මතභේදයට තුඩු දී තිබේ.

බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අතර, විදේශිකයන්ගෙන් ගාස්තු අයකිරීම් ඉහළයෑම රටේ වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තයට බලපෑමක් විය හැකි බවයි.

එසේම, රටවල් 150කට අධික සංඛ්‍යාවක වීසා ලියකියවිලි හසුරුවන මෙම විදේශීය සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ දේශීය සමාගමක් වන මොබිටෙල් විසින් අඩු මුදලකට එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබියදී බවත් අවුරුදු ගණනාවක් පුරා ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව කිසිදු කරදරයකින් තොරව ලාභාදායි ලෙස එය හසුරුවමින් තිබියදී බවත් පැවසේ.

මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත්, ආගමන විගමන බලධාරීන් පවසන්නේ මෙම සමස්ත ප්‍රශ්නය පිටුපස සැඟවුණු න්‍යාය පත්‍ර කිහිපයක් ඇතැයි තමන් සැක කරන අතර ඒ පිළිබඳ සවිස්තරාත්මකව අධ්‍යයනය කරමින් සිටින බවයි.

ඔවුන්ට අනුව, ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම රටක පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු විදේශීය සමාගමක් සතුව ඇති බැවින් ආරක්ෂක තර්ජනයක් ඇතිවිය හැකිය.

සංචාරකයන් ලෙස පැමිණෙන විදේශිකයන්ගේ පුද්ගල පසුබිම ශ්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන්ට සම්පූර්ණයෙන් තක්සේරු කළ නොහැකි වන නිසා එය තර්ජනයක් විය හැකි බව නම හෙළිකිරීමට අකමැති වූ ආගමන නිලධාරියෙක් පවසා තිබේ.

එසේම, ශ්‍රී ලංකා ආගමන බලධාරීන් විදේශ රටවලින් වීසා ගාස්තු පමණක් අය කරන නමුත් එම ක්‍රියාවලිය බාහිර සමාගමකට ලබාදීමෙන් පසු අමතර සේවා ගාස්තු අය කරන ලද අතර එමඟින් පැමිණීමේ වීසා ගාස්තු ලෙස සංචාරකයකුගෙන් ඩොලර් 100ක් දක්වා ගාස්තු ඉහළ නංවා තිබේ.

“අපගේ ගාස්තු ප්‍රමාණවත් තරම් තරඟකාරී වේ දැයි අපට විශ්වාස නැහැ. එය සංචාරක ව්‍යාපාරයට බලපානු ඇති. සංචාරකයන් අපට වඩා අඩු වීසා ගාස්තු ඇති රටවලට යෑමට තෝරා ගන්න ඉඩ තියෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් විසින් නොමිලේ සපයනු ලබන සහ හොඳින් ක්‍රියාත්මක වන වේදිකාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරන ලද වීසා පද්ධතිය බාහිරින් ලබා ගැනීම සම්බන්ධයෙන් රජය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ වන විට දැඩි විවේචනයට ලක්ව තිබේ.

වීසා සඳහා අයදුම් කරන විදේශිකයන්ගෙන් අය කළ යුතු ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර අයදුම්පත්‍රයකට ඩොලර් 1ක වියදමක් යටතේ, රජයට වියදමක් නොමැතිවම පවතින පද්ධතිය සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මොබිටෙල් සමාගම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යෝජනාව 2021 ජූලි මාසයේදී ගන්නා ලද කැබිනට් තීරණයක් අනුව අනුමත කර තිබිණි.

කෙසේවෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය දේශීය සමාගමේ යෝජනාව නොසළකා හැර ව්‍යාපෘතිය GBS Technology Services සහ IVS Global FZCO වෙත පැවරීමට තීරණය කර ඇත.

VFS Global යනු නව eVisa වේදිකාව ක්‍රියාත්මක කිරීමේ තාක්‍ෂණ සහකරු වේ.

අප්‍රේල් 17 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයන්ට ඉහළ වීසා ගාස්තුවලට අමතරව ඩොලර් 18.5ක සේවා ගාස්තුවක් සහ ඩොලර් 7.27ක පහසුකම් ගාස්තුවක් ද අය කෙරේ.

සාර්ක් නොවන රටවල් සඳහා සම්මත සංචාරක වීසා ගාස්තුව ඩොලර් 75 දක්වා වැඩි කර ඇත.

සාර්ක් රටක සංචාරක වීසා ගාස්තුව ඩොලර් 20 සිට ඩොලර් 35 දක්වා වැඩි කර ඇත.

සංචාරක කර්මාන්තයේ පිරිස් දැනටමත් මෙම වැඩි කිරීමට සහ අමතර ගාස්තුවලට විරෝධය පළ කර තිබේ.

පද්ධතියේ පවතින විෂමතා සම්බන්ධයෙන් කෝපයට පත් පුද්ගලයකු ගුවන් තොටුපළේදී කෑගසන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා ප්‍රසිද්ධියට පත් වූ පසු, රජය වහාම ශ්‍රී ලංකා ආගමන කටයුතු සමඟ ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේවෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක කියා සිටියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බදාදා රාත්‍රියේ ක්‍රියාවලියේ පසුබෑමක් සිදුව ඇති බවත්, එය යථා තත්ත්වයට පත් කළ වහාම සතියක් වැනි කාලයක් ඇතුළත එම සේවාව යළි විදේශ සමාගමට ලබාදෙන බවයි.(Daily Mirror)