May 3, 2024

අධිකරණ අමාත්‍යාංශයේ Virtual තාක්ෂණය හරහා සිදුකෙරෙන අධිකරණ ක්‍රියා පටිපාටි ශක්තිමත් කිරීම සඳහා මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය උපකරණ පරිත්‍යාග කර ඇත.

වීඩියෝ සම්මන්ත්‍රණ ඒකක 35 කින් සමන්විත මෙම උපකරණ තොගය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් විසින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සහ ඇමැති විජයදාස රාජපක්ෂ සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යාංශයේ අතථ්‍ය අධිකරණ කටයුතු වෙනුවෙන් අමෙරිකානු තානාපති කාර්යාලය සැළකිව යුතු ඉදිරි පියවරක් ගෙන ඇති බව සිය නිල ‘X’ ගිණුමේ පණිවිඩයක් තබමින් ජූලි චන්ග් පවසයි.

“අද දින වීඩියෝ සම්මන්ත්‍රණ ඒකක 35ක් පරිත්‍යාග කිරීම සහ අගුණුකොළපැලැස්ස හා ගාල්ල ප්‍රදේශවල නව පහසුකම් විවෘත කිරීම සිරකරුවන්ගේ නීති සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමට, නඩු විභාග වේගවත් කිරීමට සහ අධිකරණ ක්‍රියාවලිය පසුබෑම අවම කිරීමට අතථ්‍ය ක්‍රියාදාමයන් සහතික කිරීමට උපකාරී වනු ඇත,” යනුවෙන් ඇය එහි සඳහන් කර තිබේ.

අමෙරිකානු අන්තර්ජාතික මත්ද්‍රව්‍ය හා නීතිය බලාත්මක කිරීමේ කාර්යාංශය (INL) බන්ධනාගාර තදබදය අවම කිරීම, උසාවි ස්වයංක්‍රීයකරණය විධිමත් කිරීම සහ අධිකරණ ක්‍රියාවලීන්හි සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ මුල පිරීම්වලට සහාය වීමට කැපවී සිටින බව ද තානාපති චුන්ග් වැඩිදුරටත් සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%