May 1, 2024

ශ්‍රී ලංකාවේ නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය වසර 40කට පමණ පසු 2023 ඔක්තෝම්බර් මාසයේදී නැවත ආරම්භ වූ අතර දින කිහිපයකින් අනතුරුව යළි අත් හිටවනු ලැබූව ද, එය මැයි 13 වන දින නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 14 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මෙම සේවාව ආරම්භ කරන ලදී.

කෙසේවෙතත්, KPVS පෞද්ගලික සමාගම යටතේ ඉන්දියාවේ නැව් සංස්ථාව විසින් මෙහෙයවනු ලබන HSC Cheriyapani නමැති අධිවේගී මගී ප්‍රවාහන යාත්‍රාව මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය අත්හිටුවන ලදී.

අනතුරුව මාස හයක විරාමයකින් පසු, එම සේවාව නැවත ලබන 13 වනදා ආරම්භ කිරීමට නියමිතය.

මෙවර චෙන්නායි හි සංචාරක ක්‍රියාකරුවකු වන IndSri Ferry Services Private Limited විසින් අන්තර්ජාතික සේවය ‘සිවගංගායි’ නෞකාව හරහා හසුරුවනු ඇත.

එම සේවාව දිනපතා ලබා දෙන බව ද IndSri Ferry Services Private Limited පවසයි.

ඒ අනුව මැයි 13 සහ නොවැම්බර් 15 අතර මුහුදු ගමන් සඳහා සිය වෙබ් අඩවිය වන sailindsri.com හරහා ප්‍රවේශපත්‍ර අලෙවිය සඳුදා සිට විවෘතව පවතින බව ” IndSri Ferry Services Private Limited හි කළමනාකාර අධ්‍යක්ෂ එස්. නිරන්ජන් නන්දගෝපාන් පවසා ඇත.

නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ දක්වා ටිකට්පතක මිල දැනට ඩොලර් 50ක් සහ බදු (රු. 4,920ක් පමණ) වේ.

ආපසු පැමිණීමේ සේවාව සඳහා මිල ගණන් ද ඊට සමානයි.

සියලු මගීන්ට ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 60 ක ගමන් මලු එමගින් රැගෙන යෑමට අවසර හිමිවනු ඇත.

තව ද නියමිත සංචාරයට පැය 72කට පෙර ඔවුන්ගේ ගමන් දිනය සංශෝධනය කර ගැනීමට මගීන්ට අවසර හිමිවේ.

සම්පූර්ණ මුදල් ආපසු ලබාගත හැක්කේ අවලංගු කිරීමේදී පමණක් අදාළ කාලසීමාව තුළ පමණකි.