April 30, 2024

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) ඖෂධ සමාගම විසින් හඳුන්වා දුන් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත මාරාන්තික රුධිර කැටි ගැසීමේ අතුරු ආබාධයක් ඇති කළ හැකි බව ප්‍රථම වරට අධිකරණයේ දී පිළිගෙන තිබේ.

ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් විසින් හඳුන්වා දුන් ‘දෝෂ සහිත’ මෙම එන්නත මගින් තම ඥාතීන් ආබාධිත හෝ මියයෑමට හේතු වූ බවට
පවුල් ගණනාවක් චෝදනා කර තිබේ.

නඩු පැවරීම් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් විශ්වාස කරන්නේ සමහර නඩු සඳහා වන්දි වශයෙන් පවුම් මිලියන 20ක් දක්වා ගෙවීමට සිදුවනු ඇති බවයි.

කෙසේවෙතත් වන්දි ඉල්ලා සිටීම්වලට විරුද්ධ වන කේම්බ්‍රිජ් පදනම් කරගත් ඇස්ට්‍රාසෙනෙකා සමාගම පෙබරවාරි මාසයේ දී මහාධිකරණයට ඉදිරිපත් කරන ලද නීතිමය ලියවිල්ලකින් පිළිගෙන තිබුණේ එම එන්නත ‘ඉතා දුර්ලභ අවස්ථාවන්හිදී රුධිර කැටි ගැසීම්වලට හේතුවන’ රෝග තත්ත්වයකට හේතු වියහැකි බවයි.

මෙම සංකූලතාව එන්නතෙන් ඇති විය හැකි අතුරු ආබාධයක් ලෙස ලැයිස්තුගත කර ඇත.

කෙසේවෙතත් එක් එක් සිද්ධිය අනුව ඇස්ට්‍රාසෙනෙකා සමාගමට ගෙවීම් කිරීමට හේතු විය හැකි බවට මත පළ වී තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආදරණීයයන් අහිමි වූ හෝ සෞඛ්‍ය ගැටලු වාර්තා වූ ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් කණගාටුවන බවයි.

රෝගීන්ගේ ආරක්ෂාව සිය ඉහළම ප්‍රමුඛතාව වන අතර, එන්නත් ඇතුළු සියලුම ඖෂධවල ආරක්ෂිත භාවිතය සහතික කිරීම සඳහා නියාමන බලධාරීන්ට පැහැදිලි සහ දැඩි ප්‍රමිතීන් පවතින බව ද සමාගම කියයි.

සායනික අත්හදා බැලීම් සහ සැබෑ ලෝක දත්තවල සාක්ෂිවලින්, AstraZeneca-Oxford එන්නත පිළිගත හැකි ආරක්ෂිත පැතිකඩක් ඇති බව අඛණ්ඩව පෙන්වා දී ඇති බවත් එන්නත් කිරීමේ ප්‍රතිලාභ අතිශයින් දුර්ලභ අවදානම ඉක්මවා යන බවත් ලොව පුරා සිටින නියාමකයන් නිරන්තරයෙන් ප්‍රකාශ කරන බව ද සමාගම කියයි.

සෞඛ්‍ය නිලධාරීන් විසින් ප්‍රථම වරට යුරෝපයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත හා සම්බන්ධ සිද්ධීන් හඳුනාගෙන් තිබුණේ 2021 මාර්තු තරම් මුල් භාගයේදී, එනම් එන්නත එක්සත් රාජධානියේ ප්‍රථම වරට යොදවා මාස දෙකකට වැඩි කාලයකට පසුවය.

කෙසේවෙතත්, එම වසරේ අප්‍රේල් මාසය වන විට එන්නත සීමා කිරීමට පටන්ගත් බවට සාක්ෂි ඇත.

නිලධාරීන් මුලින්ම එන්නත අවුරුදු 30ට වැඩි අයට පමණක් සීමා කළ අතර පසුව ඔවුන් එය 2021 මැයි මාසයේදී අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ට පමණක් සීමා කර තිබිණි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 50ක් පමණ එක්සත් රාජධානියේ දී ලබා දී ඇත.

එක්සත් රාජධානියේ ඖෂධ නිරීක්ෂණ ආයතනය, ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය විසින් එකතු කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව,ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමඟ සම්බන්ධ වී ඇති රුධිර කැටි ගැසීම් සංකූලතා හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් 81 දෙනෙකු මිය ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් රුධිර කැටි ගැසීමේ සංකූලතා ඇතිවීමේ අවදානම 50,000 කින් එකක් ලෙස සැළකේ.

කෙසේවෙතත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නතට කොවිඩ් වසංගතය අතරතුර ගෝලීය වශයෙන් මිලියන 6ක පමණ පිරිසකගේ ජීවිත බේරා ගැනීමේ ගෞරවය හිමි වේ.

මෙම සමාගම 2024 පළමු කාර්තුවේදී පවුම් බිලියන 10 ඉක්මවන ආදායමක් වාර්තා කර තිබිණි.